ජාතික, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවාවන් 184ක් ඩිජිටල් කරණය සඳහා අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින අතර නූතන තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගනිමින් වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ඇති කරවීම මෙහි අරමුණ වී ඇතැයි අගමැති කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිවල කටයුතු ඉක්මන් කරවීම සහ ප්‍ර‍ගති සමාලෝචනය සඳහා අගමැතිතුමාගේ උපදෙස් පරිදි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමති අජිත් පි. පෙරේරා මහතා කමිටුවක් පසුගිය දා පත් කෙළේය.
අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ප්‍ර‍ධානී වන ජේ. චරිත රත්වත්තෙ මහතා මෙම කමිටුවේ මූලාසනය හොබවන අතර ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යශය, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය, අගමැති කාර්යාලයේ ප්‍ර‍තිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික සැලැසුම් දෙපාර්තමේන්තුව, ජාතික අය-වැය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය යන රාජ්‍ය ආයතනයන් නියෝජනය කරමින් කමිටු සාමාජිකයින් පත්කරන ලදී.
කමිටුව මේ වන විට ව්‍යාපෘති 184ක තොරතුරු ලබා ගෙන ඇති අතර එම සියළුම ව්‍යාපෘතිවල ඉලක්ක ගත කඩයිම් සමඟ වර්තමාන ප්‍ර‍ගතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම මස 30 වැනි දින වන විට කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.