2017 මුදල් වර්ෂයට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව විමර්ශනයට ලක්කරන ලද ආයතනවලින් ඇගැයිමට ලක්කිරීම සඳහා ‍තෝරා ගෙන ඇති ආයතන අතර රජයේ විශේෂ වැය කිරීම් ඒකක යටතේ වන ආයතන වෙනුවෙන් ප්‍රමුඛස්ථානය අගමැති කාර්යාලයට හිමිව තිබේ.


2017 මුදල් වර්ෂය‍ට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව රාජ්‍ය ආයතන 838 ක් විමර්ශනයට ලක්කර ඇති අතර එම ආයතන අතරින් විශේෂ ඇගයිමට ලක්කිරීම සඳහා ආයතන 109ක් තෝරාගෙන ඇත.
රජයේ විශේෂිත වියදම් ඒකක, අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු,දිස්ත්‍රීක් ලේකම් කාර්යාල,පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහනගර සභා, නගර සභා, ප්‍රාදේශිය සභා ආදි ලෙස ආයතන වර්ගීකරණය කර මෙම විමර්ශනය සිදු කැර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාව කොන්දේසි ගණනාවක් ඇතුළත් කරමින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් යටතේ මෙම විමර්ශනය සිදු කැර තිබේ. එම විමර්ශනයට අනුව රජයේ විශේෂිත වියදම් ඒකක ඇතුළත් ආයතන අතරින් වැඩිම ලකුණු අගමැති කාර්යාලය හිමිකර ගෙන ඇති අතර දෙවැනි ස්ථානය විගණකාධිපති දෙපාර්තමේන්තුවටත්, තෙවැනි ස්ථානය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවටත් හිමිව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව නිකුත් කරන ලද වාර්තා‍වේ සඳහන් වේ.
එමෙන්ම රජයේ අමාත්‍යාංශ යන අංශය යටතේ ප්‍රථම ස්ථානය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයටත් , රජයේ දෙපාර්තමේන්තු යන අංශය යටතේ වැඩිම ලකුණු මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවටත්, ‍හිමිව ඇත. දිස්ත්‍රීක් ලේකම් කාර්යාල යන අංශය යටතේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය වේ.