අමෙරිකා එක්සත් ජනපදයේ යුද හමුදාවට මෙරටට පැමිණීමටත් කඳවුරු බැඳීමටත් හැකි වන පරිදි ගිවිසුමකට එළැඹී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය හා ඇතැම් පිරිස් විසින් රජයට එල්ල කරනු ලබන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.


මේ පිළිබඳ තමා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කර ඇති බවත් තම රජය අමෙරිකා එක්සත් ජනපද රජය සමඟ ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. තවද ඇ.එ.ජ. රජයට පමණක් නොව වෙනත් කිසිදු රටකට මෙරට තුළ කඳවුරු බැඳීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශේෂයෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන හා අවාසිදායක වන ගිවිසුම් අත්සන් කිරීමට මෙම රජය කිසිසේත්ම සූදානම් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා කිසියම් ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් විසින් කරනු ලබන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
තවද ශ්‍රී ලංකාව සමඟ මෙවැනි ගිවිසුමකට අමෙරිකා එක්සත් ජනපද රජය එළැඹී නැති බව ශ්‍රී ලංකාවේ ඇ.එ.ජ. තානාපතිනිය විසින් ද ප්‍රකාශයක් කර ඇති බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.