විසිඑක්වෙනි සියවසට ගැළපෙන ලෙස මෙරට අධ්‍යාපනය ගොඩනඟමින් දකුණු ආසියාවේ තාක්ෂණික හා අධ්‍යාපන අංශයන් ගෙන් සමන්විත හොඳම පාසල් ක්‍රමය ශ්‍රීලංකාවේ ඇති කිරීමේ පියවර තබා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ ජාතික මහෝත්සවයට සමඟාමීව පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ රුපියල් මිලියන 250ක වියදමින් සාදා නිම කළ නව ශ්‍රවනාගාරය,දේශනශාලාව හා සුහුරු පන්ති කාමර විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (4) පැවැති ප්‍රධාන උත්සවයේ දී අගමැතිවරයා මේ බව කීවේය.
වසර 2015 ආණ්ඩුව පත්වන විට නුපුහුණු ගුරුවරු විශාල සංඛ්‍යාවක් ගුරුසේවයේ සිටි බවත් ඒ සියලු දෙනාට විධිමත් පුහුණුවක් ලබා දීමෙන් පසු දැන් ඉතිරිව සිටින්නේ 5000 ක් පමණක් බවත් ඒ මහතා කීය.
ඔවුන්ටද පුහුණුව ලබා දීමෙන් පසු ගුරු සේවයේ නියුක්ත සියලු දෙනා පුහුණු ගුරුවරුන් බවට පත්වන දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රීලංකාව පත්වන බවද අගමැතිවරයා පැවසුවේය.
දැන් අලුතින් ගුරු සේවයට එක් කර ගනු ලබන්නේ පුහුණු, ඩිප්ලෝමාධාරී හා උපාධිධාරී ගුරුවරුන් පමණක් බවද ඒ මහතා කීය.
විසි එක්වන සියවසට මුහුණ දී ජීවත් විය හැකි පරපුරක් ඇති කිරීම සඳහා නව තාක්ෂණය හා බද්ධ විය යුතු බවත් අද අප නොදකින තවත් වසර 20 කින් ඇතිවන අලුත් තාක්ෂණය භාවිත කළ හැකි පරපුරක් බිහි කළ යුතු බවත් කී අගමැතිවරයා අලුත් ලංකාවක් බිහි කිරීමට නම් අලුත් පරපුරක් හැදිය යුතු බවත් අලුත් පරපුරක් බිහි කරන්න නම් අලුත් දැනුම ඔවුන්ට ලබා දිය යුතු බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ඇමැතිවරුන්වන අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, වැඩ බලන ඇමැති ලකී ජයවර්ධන, ඇමැති ඒ.එච්.එම් හලීම්, මහනුවර පුරපති කේසර සේනානායක, රාජ්‍යය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, අධ්‍යාපන ලේකම් එන්.එච් රණසිංහ ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ,මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරු සහභාගී වූහ.