පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාව විසින් පවත්වන ලද 2017 මූදල් වර්ෂය සඳහා රාජ්‍ය ආයතනවල මූල්‍ය නියමයන්ට අනුගත වීම සහ කාර්යසාධන ඇගයීම් ක්‍රියාවලිය

අනුව ප්‍රශස්ත මට්ටමේ කාර්යසාධකයන් ලබාගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී රාජ්‍ය ආයතන 109 ක් ඇගයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්විණි.විශිෂ්ට මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන ගිය ආයතන 63 වෙනුවෙන් රන් සම්මාන පිළිගැන්වුණු අතර එය සංකේතවත් කරමින් ආයතන කිහිපයක් වෙත සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ ඇගයීම් උළෙලේ දී ජනාධිපතිතුමා කළ කතාව 2019-07-05 වන දින BMICH හිදී
පාර්ලිමේන්තුවේ දීර්ඝ ඉතිහාසයක් ඇති රාජ්‍ය ගිණුම් කාරක සභාව පසුගිය වසර හතරක කාලය තුළ නව ප්‍රවේශයක් ලබාදුන්නා. ඒ පිළිබඳව මා ඉතාමත්ම සතුටු වෙනවා. ඒ මඟින් රාජ්‍ය ගිණුම් කාරක සභාවක් අදහස් කරන්නේ කුමක්ද කියන එක රටට ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් මේ රටේ මූල්‍ය කටයුතු, මූල්‍ය කළමනාකරණය, මූල්‍ය පාලනය, විනය. වගකීම, වගවීම පිළිබඳව අලුතින් සිතන්න පටන් අරගෙන තිබෙනවා. මේ පෙරළියට පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාව අවශ්‍ය නායකත්වය ලබාගෙන තිබෙනවා.
මේ රටේ පසුගිය දශක තුනක වගේ කාලය තුළ බලයට පත්වූ ආණ්ඩු මැතිවරණ ව්‍යාපාර තුළ ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨවල මූලික සටන් පාඨයක් වූයේ දූෂණය හා වංචාව තුරන් කරන බවට පොරොන්දු ලබාදීමයි. 1977 සිට දේශපාලන වේදිකාව, මැතිවරණ වේදිකාව, පාර්ලිමේන්තුව, මාධ්‍ය තුළ දූෂණය, වංචාව පිළිබඳ බොහෝ කතා කරන්න පටන් ගත්තා. සියලු දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රකාශනවල ප්‍රමුඛත්වයක් ගත්තා දූෂණය හා වංචාව තුරන් කිරීම සම්බන්ධ මේ රටේ ජනාධිපති ධූරයට පත් වූ හයවෙනි ජනාධිපතිවරයා විදියට මම තරම් කොමිෂන් සභා පත් කරලා නැහැ. මෙයට සමහර අය නොයෙකුත් අර්ථකථනයන් දෙනවා. නොයෙකුත් විවේචනයන් කරනවා. නමුත් කොමිෂන් සභා පත් කිරීමට මූලිකවම හේතුව වුණේ රාජ්‍ය සේවය තුළ දේශපාලනඥයාගේ සිට සිදුවන බරපතළ දූෂණ වංචා වැළැක්වීමේ එක් පියවරක් විදියට. විගණකාධිපතිතුමාගේ කාර්යය එක් විදියකින් එතුමා ඉටු කරනවා. රාජ්‍ය ගිණුම් කාරක සභාව සිය වගකීම ඉටු කරනවා. ඒ වගේම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථා, විවිධ ආයතන, සංස්ථා, මණ්ඩල තවත් විදියකට කටයුතු කරනවා. ඇත්තෙන්ම මේ සියලු ආයතන ගත්විට මූල්‍ය කළමනාකරණය පිළිබඳව දක්වන සිය හැකියාවන් පැහැදිලි ලෙසම තමන් නිසිලෙස ඉටු කරනවා කියන කාරණය පෙන්වන්න යම් ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. විගණකාධිපතිතුමාගේ වාර්තාව තමා වාර්ෂිකව එළිදැක්වුණේ. නමුත් විගණකාධිපති වාර්තාව රාජ්‍ය සේවයේ කීදෙනෙක් කියවනවද? රටේ සාමාන්‍ය මහජනතාවගෙන් කීදෙනෙක් කියවනවද? විගණකාධිපති වාර්තාව කීයවීම අවශ්‍යයි. එයින් යම් දෙයක් කළ යුතුයි. ඒ තුළ යමක් ලබාගත යුතුයි කියලා අදහස් කරන අය විතරක් විගණකාධිපති වාර්තාව කියවනවා. නමුත් ඉන් බාහිර අය ඇත්තටම කියවන්නේ නැහැ. ඒ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කරන කාර්යය පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වර්තමාන ක්‍රියාපිළිවෙත තුළ ප්‍රධාන වශයෙන් රටේ මූල්‍ය විනය සඳහා ශක්තිමත් පදනමක් ඇතිවුණයි කියලයි මම විශ්වාස කරන්නේ. ජනාධිපති කොමිෂන් සභා පත්කරන්නට මට අවස්ථා ගණනාවකම සිද්ධ වුණේ දූෂණය, වංචාව. අක්‍රමිකතාවයන් නිසා.
මං පහුගිය දිනවලත් ප්‍රකාශ කළා මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් තමා බලයට පත්වීමට පෙර තිබූ ආණ්ඩුවල දූෂණ. වංචා හොයන්න කොමිසමක් පත්කළෙ නැහැ කියලා. ඒ වගේම තමන් බලයේ සිටින ආණ්ඩුවේ කටයුතු හොයන්න කොමිසමක් පත් කළෙත් නැහැ. ඒ දෙකම මම කළා. විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත්කළා. ඒ වගේම දැන් දවස් හතරකට කලින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පත්කළ කොමිෂන් සභාව සිය වාර්තාව දුන්නා. මේ කොමිෂන් සභාවලින් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ. මේ කොමිෂන් සභා පත්කිරීම තුළ රටේ වෙච්ච පළවෙනි දේ තමයි රාජ්‍ය සේවයේ එක්තරා අන්දමක භීතියක් ඇතිවුණා. අමාත්‍යංශවල යම්කිසි වැඩක් කරන්න කියලා කියූ විට සමහර තැන්වල කියන්න පටන් ගත්තා, රාජ්‍ය නිලධාරීන් පමණක් නෙවෙයි, සමහර ඇමතිවරුත් තමන්ගේ කාර්යාලවල කියනවා කියලා මට ආරංචි වුණා, අපෝ ඕක කරන්න බැහැ. අපිට කොමිෂන් සභා යන්න වෙයි කියලා. නමුත් කොමිෂන් සභා පත්කිරීමේ අරමුණු කීපයක් තිබෙනවා. එකක් යම් සිද්ධියකට අදාළ අයට දඬුවම් කිරීම. ඊට වඩා එහි අරමුණ අදාළ ආයතන පිරිසිදුව මූල්‍ය කළමනාකරණය, මූල්‍ය විනය යහපත්ව පවත්වාගෙන යාමට දිරිදීම.
රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිහෙක් තුළත් ලැජ්ජාව සහ බය කියන එක තියෙන්න ඕන. ඒ ලැජ්ජාව සහ බය කියන එක තියෙන්නේ මිනිහෙක් විදියට මිනිහෙකුට බය වීමට සහ ලැජ්ජා වීමට නෙවෙයි. ලැජ්ජාව සහ බය තියෙන්න ඕන වැරදි කරන්න. වැරදි කිරීම පිළිබඳව සමාජය දැනුවත් වුණොත් ඒක සමහර විට විශාල ලැජ්ජාවක්. ඒ වගේම වැරදි කරලා අහුවුණොත් දඬුවම් ලැබෙනවා කියන බය ඇතිවෙනවා. දැන් අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන වශයෙන්ම තිබෙන නිදහසත් එක්ක විවිධ ක්ෂේත්‍ර හරහා සිදුවන සිදුවීම්වලදී ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයත් බලපානවා ඇතැම් වේලාවට වැරදි කරන්න. චීනේ වගේ රටක් ගත්තොත් අපේ තිබෙන දේශපාලන ක්‍රමය නෙවෙයි තියෙන්නේ. බොහෝ විට හුඟාක් අය ආදර්ශයට ගන්නවා සිංගප්පූරුව. අද ඊයේ නෙවෙයි දැන් අවුරුදු තිහක හතලිහක මේ රටේ සිංගප්පූරුව ආදර්ශයට පෙන්නනවා. හැබැයි අපේ රට වගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය නෙමෙයි ඊට වඩා වෙනස්. එතකොට බොහෝ රටවල්වල ඇතැම් වේලාවට ඉතාම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවල රාජ්‍ය පාලනය සිදුවෙනවා වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයන් නොමැති ඇතැම් රටවල්වල යහපත් මූල්‍ය කළමනාකරණයත්, විනයත් පවත්වාගෙන යනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වලට වඩා ඒ ක්‍රමය ඉතා හොඳයි කියලා අපි කතා කරනවා. ඒ නිසා පවතින දේශපාලන ක්‍රමය රටක වඩාත් බලපානවා මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණයට. නීතිය මොන ආකාරයේ තිබුණත් ව්‍යවස්ථාව කොහොම තිබුණත් පොතේ කොහොම ලියලා තිබුණත් වගකීම් දරන බලතළ දරන පුද්ගලයාගේ චරිත ලක්ෂණ ඉතාම තදින් බලපානවා දේශපාලනඥයාගේත් රාජ්‍ය සේවකයාගේත් මූල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණයට. පොත කොහොම තිබුණත් නීතිය කොහොම තිබුණත් හොරකම් කරන මිනිහට හොරකම් කිරීමේ ක්‍රමය හදාගන්න පු`ඵවන් ක්‍රම තිබෙනවා තවමත්. ඒක මේ රටේත් තිබෙනවා. ඒ නිසා මේ ආයතනික ව්‍යුහය තුළ තිබෙන ශක්තිය වගේම වැදගත් වෙන්නේ දේශපාලනඥයා හා රාජ්‍ය සේවකයාගේ ප්‍රතිරූපය. ප්‍රධාන වශයෙන්ම සිය තනතුරුවලට ගැළපෙන ආකාරයෙන් සකස් වීම වැදගත්. මම දකින විදිහට අපි ඒ තත්ත්වයට තවමත් ගිහිල්ලා නැහැ.
රාජ්‍ය සේවයේ බරපතළ වැරදි කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව මම දකින ලොකුම දුර්වල පැත්තක් තමයි නිලධාරීන් සම්බන්ධයෙන් පවත්වන විනය ගැටලු අවුරුදු ගණන් යනවා. ආණ්ඩු වෙනස් වෙනවා තනතුරුවල ඉන්න අය වෙනස් වෙනවා, කාලයක් ගිහිල්ලා සමහර වේලාවට හොඳ මහත්තයෙක් වගේ ආයිමත් වැඩට එනවා. නොයෙකුත් විධි සහ ක්‍රම පාවිච්ච කරනවා. ඒ නිසා දේශපාලනඥයාට සහ රාජ්‍ය සේවකයාට මේ දෙදෙනාටම වගේ රටේ සාමාන්‍ය පුරවැසියාටද සෑම කෙනෙකුටම එකම නීතියක් හරිහැටි ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ඒ වගේම විනය ක්‍රියාමාර්ග එක ලෙස අවශ්‍යයි. රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයට තිබෙන විනය නීති, විනය ක්‍රියාමාර්ග බොහෝ විට දේශපාලනඥයාට බලපාන්නේ නැහැ. ඔහුට ඒවාට අසුනොවන්න පැනයන්න නොයෙකුත් ක්‍රම තිබෙනවා. අපිට යම් ප්‍රමාණයක මේ රටේ දූෂණය, වංචාව සම්බන්ධව යම් පාලනයක් ඇතිවෙලා තිබෙනවා කියන එක සතුටු වෙන්න පු`ඵවන් වගේම තව රට වශයෙන් ඉදිරියට යන්න බොහෝ දේ අප විසින් කළ යුතුයි කියන එක මා විශ්වාස කරනවා.
මෙතන තෑගි සම්මාන ගත්ත අය දිහා මං බලාගෙන හිටියා. නමුත් මේ රටේ අන්ත දූෂිත ආයතන කීපයක් තිබෙනවා ඔබ දන්නවා මං කියන්නේ නැහැ. හැබැයි ඒ අය මේ වේදිකාවට එන්නේ නැහැ තෑගි ගන්න. රන් සම්මානත් නෑ, ලෝහත් නැහැ, යකඩත් නැහැ. ඒවාට කවුරුත් අත තියන්නෙත් නැහැ. මාධ්‍ය ඒවා විවේචනය කරන්නෙත් නැහැ. දේශපාලනඥයෙක් දැක්කොත් ඇද ඇද එළෝ එළෝ ගහනවා මිසක් බරපතළ දූෂණ වංචා කරන ඒ ආයතන ගැන මේ රටේ කිසිකෙනෙක් කතා කරන්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් අපි මේ රන් සම්මාන ගන්න අය ගැන ඉතාම සතුටු වෙනවා වගේම රන් සම්මාන නොලැබෙන අය පිළිබඳව අපි රජයක් විදියට අපේ වැඩපිළිවෙළ මීට වඩා ශක්තිමත් වෙන්න ඕන. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. වැඬේ හරියට කළානම් ප්‍රශංසාවට ලක්වෙනවා. ගෞරවයට ලක්වෙනවා. පූජාවට ලක්වෙනවා. පූජාච පූජ නීයානං. බුදුන් වහන්සේ දේශනා කළ විදියට මේක මහා මංගල කටයුත්තක්. රාජ්‍ය සේවයේ හොඳ මූල්‍ය විනයක් පවත්වාගෙන යන කෙනාට රන් සම්මානයක් දීම, ඔහුව පිදීම මේ කරන්නේ. ඔහුව ඇගයීමට ලක්කිරීම. ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි රන් සම්මාන පැත්තවත් බලන්නේ නැති අය, පස්සේ යාම තවමත් සිදුවෙලා නැහැයි කියන එකනම් මම දන්නවා. ඒ නිසා වාර්ෂික වෙන්කරන අති විශාල මුදල් සම්භාරය පාර්ලිමේන්තුවේ අයවැය පරතරය, රටේ සංවර්ධනය, දේශීය විදේශීය ණය, රාජ්‍ය වත්කම් මේ සියල්ල ගත්විට අප යම් සතුටුදායක තැනකට දැන් ඇවිත් තිබෙනවා. මේ තත්ත්වය ශක්තිමත් කරගෙන ඉදිරියට යෑම ඉතාමත්ම අවශ්‍යය වෙනවා. ඒ නිසා මම ඉතාමත් අගය කරනවා ලසන්ත අලගියවන්න මැතිතුමා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරයට පත්වීමෙන් පසුව ගරු කතානායකතුමාගේත් උපදෙස් මත ඉතා හොඳ යහපත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා, රාජ්‍ය සේවයේ අවදි කිරීමක්, පිබිදීමක් ඇතිකරලා තිබෙනවා මූල්‍ය කළමනාකරණය, මූල්‍ය විනය පිළිබඳව. ඒ නිසා ඔහුගේ හැකියාව, දක්ෂතාවය ගැනත් ඒ වගේම ගිණුම් කාරක සභාවේ කටයුතු කරන මැතිඇමතිවරුන්, පාර්ලිමේන්තු මහලේකම්තුමා, ඇතු`ඵ සියලු දෙනාටත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින්, මේ රටේ යහපත්, වඩාත් ප්‍රබුද්ධ, විශිෂ්ට රාජ්‍ය සේවයක් ඇති කරන්න දේශපාලනඥයින් සහ රාජ්‍ය සේවකයින් ලෙස තව තවත් සිය වගකීම, යුතුකම වඩ වඩාත් ශක්තිමත්ව ඉටු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරමින් මගේ කතාව අවසන් කරනවා.
ස්තූතියි.