මොරගහකන්ද – කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘති කඩිනම් කර එහි ප‍්‍රතිලාභ කඩිනමින් අදාළ ප‍්‍රදේශවල ගොවි ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් දී තිබේ.

ජලය ඉල්ලා හැඬු රජ රට ගොවි ජනතාවගේ කඳුළු කතාව නිමා කරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මොරගහකන්ද -කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවන තවත් සුවිශේෂී වාරි ව්‍යාපෘතින් ලෙස වයඹ ඇළ, මිනිපේ ඇළ සහ උතුරු මැද මහ ඇළ හෙවත් ඉහළ ඇලහැර ඇළ සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

2007 වසරේ ආරම්භ කළ මොරගහකන්ද – කළු ගඟ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ උතුරු මැද නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදී එම පළාත්වල සියලු කුඹුරු යල මහ අස්වැද්දීමට අවශ්‍ය වාරි ජලය සැපයීමයි.

වර්තමානය වනවිට මෙම ව්‍යාපෘතියට වයඹ ඇළ ව්‍යාපෘතිය ද ඇතුළත්ව තිබෙන අතර වෑමැඩිල්ල වැව ජලාශය ඇතුළු වයඹ වැව් පෝෂණය කරන මෙම ව්‍යාපෘතිය මගින් වයඹ පළාතේ ලොකු කුඩා වැව් 303කට ජලය ලබාදීම සිදු කෙරේ.

උතුරු මැද මහ ඇළ හෙවත් ඉහළ ඇළහැර උප ව්‍යාපෘතිය යටතේ මොරගහකන්දේ සිට නාච්චදුව වැව දක්වා කි.මි 94ක් දිග ඇළක් ඉදිවේ. මේ මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන වැව් වන නුවර වැව, නාච්චදූව වැව, තිසා වැව, හුරුළු වැව ඇතුළු මධ්‍යම හා කුඩා ප‍්‍රමාණයේ වැව් 1600කට දියවර සැපයේ. පැරණි අඹන්ගඟ ඔස්සේ මොරගහකන්දට, පෙළොන්නරුවට හා ත්‍රිකුණාමලයට ලැබෙන ජලයෙන් ගිරිතලේ පරාක‍්‍රම සමුද්‍රය, කවුඩුල්ල, කන්තලේ යන මහ වැව් ද පෝෂණය කෙරේ.

එමෙන්ම මේ වන විට මොරගහකන්ද ජලය කන්තලේ ව්‍යාපාරයේ වගා කටයුතු සඳහා මුදා හැරීමට ද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම ජලය අඹන්ගඟ ඔස්සේ ඇළහැර, මින්නේරිය, කවුඩුල්ල සහ කන්තලේ ගොවි ජනපදවල ගොවීන්ගේ යල කන්නයේ වගා කටයුතු සඳහා මුදාහැර ඇති බව ව්‍යාපෘති කාර්යාලය පවසයි.

එමෙන්ම කළු ගඟ ජලාශයේ ජලය පිරවුම් කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතින අතර ජලාශය ඉදිකිරිම හේතුවෙන් බලපෑමට ලක්වූ ගම්මාන 24 ක පවුල් 3000කගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉදිකළ වැව් 16 ක් ඇතුළු වාරි පද්ධති වෙනුවෙන් ජලය මුදාහැරීම ද කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.