අසත්‍ය කටකතා පතුරුවා හරිමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් හෝ කණ්ඩායම් සොයා ඔවුන් නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ඇමැති රුවන් විජේවර්ධන මහතා පසුගියදා (08) ප්‍රකාශ කළේය.


ඒ මහතා එම අදහස් පළකළේ 08වැනිදා ප්‍රථම වරට ලංකාවේ පවත්වනු ලබන ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ 15 වැනි සැසි වාරය කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති අවස්ථාවේ එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.
ඇමැති රුවන් විජේවර්ධන මහතා එහිදී මෙසේද කීය.
මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු ආරක්ෂක අංශ දැඩි අවධානයකින් සිටින බව කීය.
තවුහිත් ජමාද් ත්‍රස්ත සංවිධානය මේ වන විට සම්පුර්ණයෙන්ම අඩපණ කර ඔවුන්ට නැවතත් හිස එසවිය නොහැකි තත්ත්වයට පත් කර තිබෙනවා. මේ රටක් කඩා ගැනීමට එන ත්‍රස්තවාදි කණ්ඩායමක් නොවේ. ආගමක් පදනම් කරගත් ත්‍රස්තවාදි කණ්ඩායමක් පමණයි. මේ ආකාරයෙන් ලෝකයේ විවිධ රටවල යුරෝපා රටවල පවා මෙවැනි කණ්ඩායම් විටින් විට මෙවැනි සිදුවීම් සිදු කරන බැවින් අප අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි.
ඒ අතර කටකතා පතුරුවා විවිධ ආකාරයෙන් රටේ විවිධ කළබලකාරි තත්ත්වයන් ඇති කරවන කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරන පිරිස්වලට නීතිය තදින්ම ක්‍රියාත්මක වන අතර පසුගියදා කළුතර ඇතුළු ඒ අවට ප්‍රදේශ කිහිපයක කළබලකාරි තත්ත්වයක් ඇති කරවන බවට ප්‍රචාර ගෙන ගිය කණ්ඩායම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ විමර්ශන අංශවලට උපදෙස් ලබාදී තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අපේ කලාපයේ සාගර සංවාදයක් බවට ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ වැදගත් එකක් බවට පත්වි තිබෙනවා. විශාල සංඛ්‍යාවක් සාගර විශේෂඥයන් මීට සම්බන්ධ වී සාගර කටයුතු පිළිබද ගැටලු සාකච්ජා කිරීමට හැකි වී තිබෙනවා. ඉන්දු පැසිපික් කලාපයේ පිහිටිම ආරක්ෂාව වෙළෙද සහ පරිසර ක්‍රියාකාරකම් පිළිබද මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා. එහිදී අප රට එහි මධ්‍යයේ පිහිටා තිබෙනවා. එහි ආර්ථික සහ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී තිබෙනවා . මම විශ්වාස කරනවා. නිල් ආර්ථිකය මත පිහිටා ආරක්ෂාව සහ ආරක්ෂණය ඉතා සාර්ථක විදියට පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බව. සාගරික වශයෙන් අපට අභියෝගවලට මුහුණ දීමට සිදුවී තිබෙනවා. විශේෂයෙන් සාගර ත්‍රස්තවාදය නිත්‍යානුකුල නොවන ජාවාරම් වැනි දේවල්වලදිත් ඒ සඳහා පියවර ගන්න මෙවන් සහයෝගිතාවන් වැදගත් වෙනවා . මේ ශක්තිමත් සබඳතාවලින් සාගර සබඳතා වර්ධනය කර ගැනීමට අවශ්‍යයි . එය ජාතික වශහෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් වැදගත් වෙනවා. ඒ වන විටයි එම අභියෝග ජය ගැනීමට හැකිවන්නේ. එම සබඳතාවලින් අපට හොඳ පදනමක් ඇති කර ගැනීමට හැකි බව විශ්වාස කරනවා. එවැනි පසුබිමක් මත ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක කණ්ඩායම්වලට එහි ප්‍රතිලාභ ලංකාවටම පමණක් නොව සමස්ත සාගර වෙරළ කලාපයටම ලබාදීමට බවද ඇමැති රුවන් විජේවර්ධන මහතා සිය ආරාධිත දේශනය කරමින් කියා සිටියේය.
මේ අතර මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබු අලොන්ද්‍රා රේන්බෝ නෞකාව ඉන්දිය වෙරළ ආරක්ෂකයන් විසින් අග්නිදිග ආසියානු මුහුදේදි 1999 නොවැම්බර් මාසයේ සිය භාරයට ගැනීම පසුබිම් කර ගනිමින් ආසියානු සමුද්‍රිය කලාපයට ඇති තර්ජනයන්වලට මුහුණදීම සඳහා ජපානය විසින් මුහුදු කොල්ලකෑම් හා අවි ජාවාරම් නැවැත්වීම සඳහා කලාපීය සමුද්‍රිය ආරක්ෂක ආයතන අතර සමුළුවක් 2000 වසරේදී සංවිධාන කරනු ලැබිණි. මේ සමුළුවේදි සමුද්‍රයේ සිදු කෙරෙන සෙවීම් සහ මුදා ගැනීම් සහ සමුද්‍රිය පරිසරය සුරක්ෂිත කිරීම සමුද්‍රිය නීති විරෝධි ක්‍රියා වැළැක්වීම හා පාලනය කිරීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් මේ සමුළුවේදි සාකච්ඡා කරන අතර සමුළුව පැවැත්වීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම මේ සමුළුවේ අරමුණයි.
මේ සමුළුවට ඕස්ට්‍රේලියාව , බහරේන් , බංග්ලාදේශය , බෘනායි, කාම්බෝජය . චිනය, හොංකොං ඉන්දියාව, ඉන්දුනීසියාව , ජපානය , පිලිපිනය , සිංගප්පුරුව, තායිලන්තය, තුර්කිය හා වියට්නාමය , යන රටවල් හා කලාප 22ක් වශයෙන් නිත්‍ය සාමාජිකයන් ලෙස සහභාගි වී සිටිති. සමුළුව හෙටත්(11) පැවැත්වෙයි. ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් මහතා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

RW

rw1