සිය මීළඟ සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම වෙනුවෙන් හේතු සාධක සොයන සංචාරකයන්ට ඒ සඳහා සෑහෙන තරම් සාධක, ලබන වසරේදී ඩුබායි නුවර පැවැත්වෙන ග්ලෝබල් එක්ස්පෝ (Global Expo 2020) ප්‍රදරශනයේ ශ්‍රී ලංකා කුටිය හරහා හිමිවන බව එක්සත් අරාබි එමීර් ශ්‍රිලංකා සංසදයට එක්වුණු සංචාරක විශේෂඥයෝ පැවැසූයහ.

අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් සියාම් මරික්කාර් මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “ප්‍රදර්ශනය පැවැත්වෙන මාස හයක කාලය තුළ අපගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව අපට උදාවනවා. ශ්‍රී ලංකාව සතු සංස්කෘතික ඉසව් ප්‍රමාණය ඉතා විශාලයි. එම නිසා අපි ශ්‍රීලාංකික සංස්කෘතිය ඉස්මතු වන ආකාරයට අපගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ප්‍රදර්ශනය පැවත්වෙන කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවය පැවැත්වෙන නිසා නිදහස් දින සැමරුම් දැකබලා ගැනීමේ අවස්ථාවක් නරඹන්නන්ට හිමිවේවි”.

මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික නියෝජනය පිරිනමනුයේ සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙනි. එම ආයතනය, මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් සමග ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතය. එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලාංකික කුටිය හරහා ශ්‍රී ලාංකිකයන් සතු වසර 2500ක් පැරැණි අතීත උරුමය තත්ත්කාලීන පසුබිමක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. ඒ දක්ෂතාවයෙන් හා කුසලතාවයෙන් පරිපූර්ණ සාඩම්බර අතීතය මෙන්ම අඛණ්ඩව පවත්වාගෙන යන නවෝත්පාදන හා නිර්මාණශීලී සංස්කෘතික පසුබිම ද මැනවින් නිරූපණය වන අන්දමිනි. ශ්‍රී ලාංකික කුටියේ නිර්මාණ සැලසුම ද ශ්‍රී ලංකාව වටා පිහිටි සුලන්දර මුහුදු තීරය ඉස්මතු වන අයුරින් විශේෂ තේමාවක් ඔස්සේ නිර්මාණය කිරීම තවත් විශේෂත්වයක් බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පවසයි.

“ඩුබායි නුවරදී පැවැත්වෙන Global Expo 2020 ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව එක්වන්නේ මහත් ගෞරවයකින් හා සතුටකින් යුතුවයි. ප්‍රදර්ශනය වෙනුවෙන් අපි ඉතා හොඳ සූදානමකින් පසුවෙනවා. එහිදී විශේෂ ජයග්‍රහණ කිහිපයක් අත්කරගැනීමට අප දැනටමත් සමත්ව සිටිනවා. Opportunity District කමින් නම්කර තිබෙන විශේෂ කලාපය තුළ අපගේ කුටිය ඉදිකිරීමට අවස්ථාව උදාවීම ඊට කදිම නිදසුනක්” යැයි සංවර්ධන ක්‍රමෝපාය හා අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.