හසළක ගාමිණී කුලරත්න රණවිරුවා එදා තම ජීවිතය පූජා කරමින් තම රට සහ අනාගතය වෙනුවෙන් සිදු කල වීරෝධාර ක්‍රියාව වෙනුවෙන් ඔහුගේ‍ නම ඉතිහාස ගත වන බව කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.


ගාමිණී රණවිරුවාගේ ඒ විරෝදාර ක්‍රියාව නොවන්නට එදා අපේ රණවිරුවන් සිය ගණනකගේ ජීවිත හානි වන්නට තිබුණ බවත් තමන්ගේ සහෝදර භට පිරිස් මෙන්ම තමන්ගේ රට වෙනුවෙන් ගත් තීරණය වෙනුවෙන් තම ප්‍රණාමය පුද කරන බවත් ප්‍රකාශ කළේ ය .
ඒ මහතා මේ බව පැවසුවේ කොල්ලුපිටිය සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ඊයේ (11) පැවැති දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් දිවිපුද දුන් හසළක ගාමිණී රණවිරුවාගේ 28 වැනි ගුණ සැමරුමට සහභාගී වෙමිනි.
එහිදී හසළක ගාමිණී රණවිරුවා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයද ඉදිරිපත් කළ අතර ගාමිණී රණවිරුවාගේ සේවාව අගයකරමින් ඔහුගේ මව වයි.ජී. ජුලියට් මහත්මියට පරිත්‍යාග පුද කිරීම ද සිදු කෙරිණි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා මෙසේ ද කීවේ ය.
මෙම උත්සවය ජාතික යුතුකමක් ලෙස , කෘතගුණ සැලකීමක් ලෙස සිදු කරනවා. ඒ වාගේම මෙම උත්සවය ජාතික යුතුකමක් ඉටු කිරීමක් වශයෙන් මම දකිනවා. පිදිය යුතු රණවිරුවෙකුට උපහාර දක්වමින්, ඒ නම ඉතිහාසයේ රඳවන්න ගන්නා මෙම උත්හාසයට මාගේ ප්‍රණාමය පුද කරනවා.
ගාමිණී රණවිරුවා එදා තම ජීවිතය පූජා කරමින් සිදු කළ වීරෝදාර ක්‍රියාව නොවන්නට අපේ රණවිරුවන් සිය ගණනකගේ ජීවිත හානි වන්නට තිබුණා. එදා ඔහු ඒ තීරණය ගත්තේ තමන්ගේ සහෝදර භට පිරිස් මෙන්ම තමන්ගේ රට වෙනුවෙන් . තමන්ගේ රටේ අනාගතය වෙනුවෙන්. කෝප්‍රල් කුලරත්නගේ නම ඉතිහාසගත වෙයි කියා මම හිතනවා. ඒ ආකාරයට රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් ජීවිත කැපකල සියලුම රණවිරුවන් වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුද කරනවා. මෙම කුලරත්න රණවිරුවාද තම ජීවිතය පූජා කලේ නිදහස් සාමකාමී රටක් ලෙස මේ රට ඉදිරියට යන බව බලන්නයි . ඒ පරිත්‍යාගයන් මෙනෙහි කරමින් , ඒ පරිත්‍යාගයන් අගය කරමින් මේ රටේ නිදහස , ස්වාධීනත්වය , ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වර්තමාන පරපුරටත් අනාගත පරපුරටත් ලබාදීමයි.
නිදහස ලබාගන්න අනික් රටවල් ජනතාව ජීවිත පූජා කරමින් , අවුරුදු ගණන් සටන් කර තිබෙනවා. අදත් සමහර රටවල් නිදහස ලබා ගැනීම සඳහා ජීවිත පූජා කරන ආකාරය අපි දකිනවා. නමුත් අපිට නිදහස ලැබුනේ වැඩි කරදරයක් නැතිව යි. ජාතික වීරවරයන්ගේ ජාතික නායකයින්ගේ දුරදක්නා නුවණ නිසා අපට ඉතාම පහසුවෙන් නිදහස ලබා ගන්න පුළුවන් වුණා . ඒ නිසා නිදහසේ වටිනාකම , එහි අගය තෙරුම්ගන්න පුළුවන් වෙන්න අවශ්‍ය යි. වර්තමාන පරපුර ,ඊළඟ පරපුර වෙනුවෙන් සමඟි සම්පන්න රටක් බිහි කරන්න අවශ්‍ය යි. රටක් ඉදිරියට යන්නේ ජාතික , ආගමික ,දේශපාලනික සමඟිය ඇති කලහොත් පමණයි .
අපේ හමුදාවට ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. සාමසාධක හමුදා සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ තිබෙන විනය , දක්ෂකම , එඩිතරකම තිබෙනවා. සමඟි සම්පන්න එක්සත් සාමකාමී රටක් ඇති කරන්න අවශ්‍ය යි. ඉදිරියේදී රටේ සමඟිසම්පන්නව ජාතික , ආගමික , දේශපාලනික සමඟිය ඇති කරන්න අවශ්‍ය යි.


එහිදී අදහස් දැක්වූ වැඩබලන ආරක්ෂක හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ,
හසලක ගාමිණී රණවිරුවා 1991 ජූලි 10 වැනිදා අලිමංකඩ යුධ හමුදා කඳවුර වෙත එල්ලවෙන්න ගිය විනාශය වළක්වාලමින් විශාල මෙහෙවරක් සිදුකලා. ඔහුගේ ගුණ සැමරුම අදටත් සමරන්නේ ඔහු එදා කල වීර ක්‍රියාව නිසයි. නූතන කාලයේ ජාතික වීරවරයෙක් ලෙස මේ හසළක රණවිරුවා සලකන්න පුළුවන්. යුධ කාලයේදී සිදුකල වීර ක්‍රියාව ඒ සඳහා සංකේතයක් ලෙස සලකන්න පුළුවන්.
හැඳල පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති හික්ගොඩ සද්ධානන්ද නාහිමිපාණන් වහන්සේ , ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අංශය භාරව කටයුතු කරන ජෝශප් බෙනඩික්ට් පියතුමන් ද එහිදී අදහස් දැක්වීය.
බටගල්ලේ පඤ්ඤාකිත්ති ස්වාමීන් වහන්සේ , සංචාරක සංවර්ධන , වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ , ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ , හිටපු අමාත්‍ය ලෝරන්ස් මාදිවෙල යන මහත්වරු ඇතුළු හසළක රණවිරුවාගේ මව සහ පවුලේ පිරිස් සහභාගී වුහ.

hasalaka gamini hero

hasalaka

 

hasalaka1