මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් කුඩුකාරයන්ට පාතාලයට සහ ස්තී‍්‍ර දූෂකයන්ට රට භාර දෙන එම දිනය මේ රටේ ජාතික ශෝක දිනයක් බවට පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ පෙරවරුවේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති උත්සවය අමතමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ආණ්ඩුවේ කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැරසීම තුළින් ජය පැන් බොන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට තමා ඉඩ නොතබන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා අතරම මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ ගත් තීන්දුව ද කිසිසේත් ආපසු නොහරවන බව අවධාරණය කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මරණිය දණ්ඩනය ලබාදීම පිළිබඳ ගත් තීන්දුවට ඇතැම් පිරිස් එරෙහි වී ඇත්තේ විදේශ බලවේගයන්ගේ අවශ්‍යතා අනුව බවයි.
එබැවින් මරණීය දණ්ඩනය රටට අවශ්‍ය බවට රටට සහ දරුවන්ට ආදරය කරන ජනතාව අතරින් පුළුල් ජන හඬක් ගොඩනැගිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඊට එක්වන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලන බව ද කියා සිටියේය.
දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන මහවැලි ගොවි ජනතාව වෙත ඔවුන් දීර්ඝ කාලයක් පුරා භුක්තිවිඳින ඉඩම් කොටසේ නීත්‍යානුකූල අයිතිය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ මහවැලි ගොවින් පන්දහසකට ඉඩම් අවසරපත‍්‍ර පිළිගැන්වීම මෙහිදී සිදු විය.
එමෙන්ම පූජනීය ස්ථානක් වෙනුවෙන් දීමනා පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද සිදු විය.
සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම තමන්ගේම වන ඉඩමක හිමිකම හා නිවසක උරුමය හිමිකරදීමේ ප‍්‍රතිපත්තියට අනුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මහවැලි ජනපදිකයන් උදෙසා මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කරන අතර ඔවුන්ට තම ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත.
පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින්වහන්සේ ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර, හේෂාන් විතානගේ යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම වෙනුවෙන් වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය ක්‍රිඩාංගණයේ දී පැවති උත්සවය – අමතමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019.07.14 වන දින)
අද තමුන්නාන්සේලා දීර්ඝ කාලයක් බලාපොරොත්තු වෙච්ච සිහිනයක් සැබෑවෙන දවසක්. මේ ඉඩම් ඔප්පු ලබාදීම, අපි ජාතික වශයෙන් රට පුරා ගෙනියන වැඩ පිළිවෙලෙහි තවත් එක් අවස්ථාවක්. මම පහුගිය සතියෙත් ප්‍රකාශ කළා ලෝකයේ මිනිස්සුන් ගේ සටන් ව්‍යාපාර මුලින්ම ඇති වුණේ වසර ලක්ෂ ගණනකට එහාදිත් ජලය සහ ඉඩම් මුල් කරගෙන බව. ජලය සහ ඉඩම් මුල් කරගෙන සටන් ඇති වුණේ මිනිසා ගේ ජීවත්වීමට, පැවැත්මට අත්‍යවශ්‍ය භුමියක සහ ජලය අත්‍යවශ්‍ය නිසයි. මහපොළොවත් ජලයත් තමයි ගොවියාට අවශ්‍ය වන්නෙත්. මහපොළොවත් ජලයත් තමයි ලෝකයේ ජීවත් වන සෑම මිනිසාටමත්, සියලු සත්ත්වයාටත් අවශ්‍ය වන්නේ. ඒ නිසා ඔබට එක පැත්තකින් ඉඩමේ උරුමය සහ අයිතිය, තවත් පැත්තකින් වලවේ ව්‍යාපාරය විදියට චන්ද්‍රිකා වැව ව්‍යාපාර විදියට ඔබට ජලයට ලැබෙන අයිතිය. මේ ගැන මම ඉතාමත් සතුටු වෙනවා.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පදනම ගත්විට වසර දහස් ගාණනක සිට මේ රට ගොඩ ගන්න ප්‍රධාන වශයෙන් ශක්තිය වුණේ කෘෂිකර්මාන්තයයි. ලෝකයේ තාක්ෂණය කොතෙක් දියුණු වුණත් මිනිසාට ජීවත්වීමට ශක්තිය ලැබෙන්නේ කෘෂිකර්මාන්තය මුල් කරගෙන. කෘෂි කර්මාන්තය නැත්නම් මිනිසා වගේම සියලු සත්ත්වයා ගේ ආහාර ප්‍රශ්න මතු වෙනවා. ඒ නිසා මහපොළොව, ජලය, කෘෂිකර්මය යන අංශ තමයි මුලු සත්ත්ව ලෝකයේ පැවැත්මට ඉතාමත් වැදගත් වෙන්නේ. අපි රටක් වශයෙන් අපේ ප්‍රතිපත්තිය තුළ කෘෂි කර්මාන්තය නගා සිටුවීම සඳහා ගතහැකි සෑම පියවරක්ම අරගෙන තිබෙනවා. නමුත් මිත්‍රවරුනි, කාළගුණික සහ දේශගුණික විපර්යාස ලෝකයේ ඉතාමත් බරපතලයි. අපි මොරගහ කන්ද ජලාශය හදලත්, වලවේ මහ ජලාශය, චන්ද්‍රිකා වැව, ජලාශ කොච්චර තිබුණත් වැස්ස නැත්නම් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට අපි විතරක් නෙවෙයි මුහුණ දෙන්නේ. මුළු ලෝකයේම ජනතාව මුහුණ දෙනවා. දැන් මාස තුනකට කලින් ප්‍රංශයේ පාසල් වහලා දැම්මා. පාසල් වහලා දැම්මේ ඇයි. අධික ඌෂ්ණත්වය. එවැනි සිදුවීම් යුරෝපයෙන් වාර්තා වෙනවා.
යුරෝපය කියන්නේ ඔබ දන්නවා ඉතාම යහපත් කාලගුණික, දේශගුණික තත්ත්වයක් තිබෙන ජලය පිළිබඳව කිසිම වෙලාවක ප්‍රශ්නයක් නොනැගෙන ප්‍රදේශ. නමුත් ප්‍රංශයේ පාසල් වහන්න සිද්ධවුනේ ජලය නැතිව. ඌෂ්ණත්වය වැඩිකම. අපේ අසල්වැසි රටක් වන ඉන්දියාව ගත්තොත්, ඉන්දියාවේ ජල ප්‍රශ්නය නිසා මිනිසුන් මැරෙනවා. වායු ගෝලීය දූෂණය නිසා මිනිස්සු මැරෙනවා. දිල්ලි නගරයේ ඔක්සිජන් බෑග් එක කරේ දාගෙන යනවා. මිනිස්සු ඇගේ හැප්පිලා මැරෙනවා, පාරේ යනකොට වාහන වල ගැටිලා කාණුවල වැටිලා. මිනිස්සුන්ව පේන්නේ නැ පාරේ යනකොට. සම්පූර්ණ දුමෙන් වැහිලා. ඉතින් මේ කාලගුණික, දේශගුණික, විපර්යාස තත්ත්වයත් එක්ක මිනිසා මුහුණ දෙන පලමුවෙනි ප්‍රශ්නයේ දි තව අවුරුදු 20ක් 25ක් යනවිට මිනිසුන්ගේ ලේ වලට වැඩිය පානීය ජලයේ වටිනාකම වැඩිවෙනවා. මිනිස්සුන්ගේ ලේ හොයා ගන්න පුළුවන් සමහර රටවල් වල බොන පිරිසිදු වතුර නැතිව යනවා. ඒ නිසා ලේ බෝතලයකට වැඩිය, වතුර බෝතලයක මිල වැඩිවෙනවා අනාගතයේ. ඒක තමයි මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නය. මේ නිසා තමයි අපි හැමවෙලේම කියන්නේ ගස් කපන්න එපා, පරිසරය රකින්න කියලා.
ගොවියා ඈත අතීතයේ සිටම පරිසර සංරක්ෂණයේ දී වැදගත් පුද්ගලයෙක්. පරිසරය පිළිබඳව ලෝකයේ පැරණිම, ඉහළම පරිසරවේදියාණෝ බුදුන්වහන්සේ. බුදුන්වහන්සේ තමයි දේශනා කළේ පරිසරයේ වැදගත්කම. ගස, කොළ, වැල, ඇළ, දොළ, ගාංගා, මහපොළොව, හිරු, සදු, පිළිබඳ වටිනාකම. ඈත අතීතයේ මිනිස්සු ගස් වලට වැන්දේ ඇයි. සමහර අය කියනවා මිනිස්සු නොදියුණුකමට ගස් ගල් වලට වැන්දා කියලා. නැහැ. මිනිස්සු නොදියුණුකමට නෙවෙයි ගස් ගල් වලට වැන්දේ. ඒ තත්ත්වයට එන්න කලින් සෘෂිවරු. පැහැදිළි කරලා තිබුණා ගස් ගල්වල වටිනාකම. ගස් විනාශ වුණොත්, වනන්තර විනාශ වුණොත්,මහ වෘක්ෂ විනාශ වුණොත් මිනිසුන්ට ජීවත් වෙන්න වාතය නෑ. ඔක්සිජන් නෑ.
අද අපේ රටෙත් ගස් කපනවා. ගල් කඩනවා. පස් කපනවා. වැලි ගන්නවා. ගංඟා විනාශ කරනවා. පහුගිය අවුරුදු හතරහමාරේ මාත් එක්ක හුඟදෙනෙක් අමනාප වෙන්න හේතු තිබෙනවා. වැරදි දේට විරුද්ධව මම තීන්දු ගැනිම. වැරදි දේ කරන්න ඉඩ නොදීම. මේ රටේ පරිසර සංරක්ෂණය මම භාර ගත්තේ ජනාධිපතිවරයා විදියට මිනිස්සු ජීවත් කරන්න, මිනිසා ප්‍රමුඛ සියලු සත්ත්වයා ජීවත් කිරීමේ වැදගත්කම තිබෙන්නේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම තුළයි. ඒ නිසා තමයි වනාන්තරය ආරක්ෂා කරන්න ඕන. හැම පාසල් දරුවෙකුටම, හැම රාජ්‍ය සේවකයෙක්ම, අපේ ගොවි මහත්වරුන් විිදියට තමුන්නාන්සේලා හැම කෙනෙක්ම තරාතිරමක් නැතිව තමන්ගේ උපන් දිනයේදි පැළයක් හිටවනවා නම්, ඒක තමා තමන්ට ජීවත් වෙන්න කරන ලොකුම උදව්ව. තමා ගේ පරම්පරාවේ හෙට උපදින දරුවන්ට කරන ලොකුම උදව්ව තමා පැළයක් හිටවන එක. ගහ, කොළ,වැල ආරක්ෂා කර ගන්න එක. ඒක නිසා පරිසරය ආරක්ෂා කර ගැනීම ඔබ අපගේ වගකීමක්.
විශේෂයෙන්ම ගොවි ජනතාව විදියට, රාජ්‍ය නිලධාරින් විදියට. ඉඩම් ඔප්පුව බලාපොරොත්තුවක්, අද ඒ සිහිනය සැබැ වෙනවා. ඒ ගැන ඔබ සතුටු වෙනවා. මේ ගැන කටයුතු කරපු මහවැලි අමාත්‍යංශයේ ලේකම්තුමා සහ කාර්ය මණ්ඩලය, අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඉඩම් අධ්‍යක්ෂක ඒවගේම කොට්ඨාස කළමණාකාරවරුන් ඇතුළු මහවැලි ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනාටම මම මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. ඒ ස්තුතිය පුද කරන ගමන්ම මම දැන් සති 3ට කළින් පොළොන්නරුවෙදි කියපු කථාව අදත් මම මෙතන කියන්න ඕන. ලංකාවේ මහවැලි කලාප 10 ක් තියෙනවා. මෙතන ඉන්න ගොවි මහත්වරුන් ගෙන් ඇහුවොත් කියයි පහුගිය අවුරුදු 10 ක් ,15 ක්, 20ක්, 25ක්, තමන්ගෙන් සල්ලි ගත්තේ කවුද කියලා. ඉඩම් ඔප්පුව හදන්න, බලපත්‍රය හදන්න, කොළඹ යවන්න, ගෙන්න ගන්න, හෙට අනිද්දා දෙනවා කියලා, ෆයිල් එක ආවයි කියලා කියන්න, අහිංසක ගොවින්ගෙන් රුපියල් 5000, 10,000, 15,000, 25,000 ගත්ත නිලධාරින් පිළිබඳව ඉතාමත් කැත නාමයක් තියෙනවා. මේක අද ඊයේ කාරණයක් නෙවෙයි මහවැලි කලාප විදියට ගත්තම, වලවේ ව්‍යාපාර අංක එක. මම මේ කියන්නේ අද ඊයේ තත්ත්වය නෙවෙයි. දැන් සමහර අය සේවාවන් වල නෑ. විශ්‍රාම ගිහිල්ලා. සමහර අය දැන් මැරිලා. වලවේ ව්‍යාපාරය පිළිබඳව මට හොද අවබෝධයක් තිබෙනවා. මම මහවැලි ඇමතිවරයා විදියට කඩින් කඩ, අවුරුදු 17 ක් දැන් වැඩ කරලා තියෙනවා. මහවැලි ව්‍යාපාරය ආරම්භ වුනාට පස්සේ, මහවැලි විෂය භාර ඇමතිවරයා විදියට වැඩිම කාලයක් වැඩ කරලා තියෙන්නේ මම. මා හිතවත් ගාමිණී දිසානායක මැතිතුමා අවුරුදු 11 යි. මම දැන් අවුරුදු 17 ක් කඩින් කඩ වැඩ කරලා තියෙනවා. තමුන්නාන්සේලා ඉන්න අයගෙන් යම් සෑහෙන පිරිසක් මම පුද්ගලිකවත් අඳුනනවා වලවේ ව්‍යාපාරයේ. නිලධාරින් ඉංජිනේරු මහත්වරුන්ට පින් සිද්ධ වෙන්න වැව් 70 ට වැඩිය හැදුවා. වලවේ කලාපයේ.
සුළු හා මධ්‍යම ප්‍රමාණයේ පැරණි වැව් 70 කට වැඩිය ප්‍රතිසංස්කරණය කළා. ඉතින් මම මේ කාරණාව කියන්නේ අහිංසක දුප්පත් ගොවින් ගේ කඳුළු, ඒ කඳුළුත් එක්ක ගලන දහදිය, සුසුම්, මේ සියල්ලත් එක්ක අහිංසක ගොවින් ගේ සාක්කුවට බැහැලා මහවැලි අධිකාරියෙත්, මහවැලි සේවකයින්ගෙත් නම කැත කරන්න එපා. මේවා ඉතාමත්ම අවිනීතයි, අසීලාචාරයි, කැතයි, නින්දිතයි. මම ඒවා ප්‍රසිද්ධියේ කියනවා. ලංකාවේ ඉඩම් අංශ ගත්තොත් හැමතැනම දූෂිතයි. පළාත් සභාවේ ද, ඉඩම් අමාත්‍යාංශයේ ද, මහවැලියෙ ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද, ඉඩම් අංශ අන්ත දූෂිතයි. මේක අද ඊයේ කාරණයක් නෙවෙයි. හැබැයි ඒක හදන්න ලේසි පහසු නෑ. දුප්පත් මිනිහා අහිංසක මිනිහා රවටලා බය කරලා, එක පැත්තකින් සල්ලි ගන්නවා, අනෙක් පැත්තෙන් පෝසතාගෙන්, තමන් ගේ වැඩක් කරගන්න ආපුවහම ඒකට සල්ලි ගන්නවා. පොළොන්නරුවේ මා පදිංචි නිවස පිහිටි ඉඩමට බලපත්‍රය ගන්න මම ඇමතිවරයෙක් හැටියට ඉඳිද්දිත් අවුරුදු අවුරුදු 12ක් විතර ගියා. මම බලපත්‍රය ඉල්ලලා අවුරුදු 12 කට විතර පස්සේ බලපත්‍රය ආවා. ඔප්පුවක් නෙවෙයි. බලපත්‍රයක්. මගේ ලේකම්ට පොළොන්නරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් ලිපිකරු කියනවා, ඇමතිතුමා ගේ ඔප්පුව නම් ඇවිත් තියෙනවා, ඔයාලා ඉතින් දන්නවනේ, ඇමතිතුමාට ඉතින් කියන්නකෝ මට මොකක් හරි උදව්වක් කරන්න කියලා. මෙන්න මේක තමයි අපේ රටේ තත්ත්වය. ඉතින් ඒක නිසා දූෂණය, වංචාව, හොරකම ඉහළ ඉදන් පහළට තියෙන මේ රට වැටිලා තියෙන්නේ ඔය නිසා.
ලොකු මිනිස්සු තමා පොඩි මිනිස්සුන්ට උගන්වලා තියෙන්නේ හොරකම් කරන්න. මම ඒවා ගැන ඊට වඩා කියන්නේ නැහැ. නමුත් අද මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරනවා තමුන්නාන්සේලා ඉන්න මේ 5000 ක් විතර ජනතාව, විනිශ්චය මණ්ඩලයක් විදියට හිතාගෙන මම පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා, තමුන්නාන්සේලා මෙතන හිතලා,මට උත්තරයක් දෙන්න මම මේ කියන කතාව හොදට අහගෙන ඉදලා. මේ රට හදන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ රටේ විනයක් නැති එක. විනයත් එක්ක ශිෂ්ට කමක් නැති එක. දූෂණයෙන් පිරිච්ච එක. මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාමත්ම ප්‍රබලයි. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, පාතාලය, බරපතළ චංචා, හොරකම්, සමූහ මංකොල්ල කෑම්. මේ සියල්ලටම මුල මේ රටේ මත්ද්‍රව්‍ය . මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ කියන්නේ පොඩි මිනිස්සු නෙවෙයි. හැබැයි එහෙම අය නැති කරන්න මම ගත්ත මත්ද්‍රව්‍ය වැඩසටහනේ හුඟක් ප්‍රතිඵල තියෙනවා. මම ඒකට සම්පූර්ණ අවසන් තිත තියන්න තමයි මරණීය දණ්ඩනයට මම අත්සන් කළේ. එන්.ජී.ඕ කාරයෝ, විදේශ බලවේග උසාවි ගියා. ගිහිල්ලා තීන්දුවක් ගත්තා මරණීය දණ්ඩනය දීම, තීන්දුව ඔක්තොම්බර් වෙනකම් කල් දාන්න කියලා. මම විශේෂයෙන් මේ ගැන කියන්නට ඕන. මේක ජාතික ව්‍යසනයක්. මම මේ තීන්දු තීරණ ගත්තේ මේ රටේ පාසල්වල දරුවෝ ලක්ෂ 40 ක් විතර, විශ්වවිද්‍යාල වෘත්තීය අධ්‍යාපන ආයතනවල ලක්ෂ 10 ක් විතර. ඒ ලක්ෂ 50ක් විතර ඉගෙන ගන්න දරුවෝ ටික බේර ගන්න, ඔබේ දරුවෝ බේරගන්න, හෙට උපදින දරුවෝ බේරගන්නවා.
නමුත් මරණීය දණ්ඩනය එපා කියලා ආණ්ඩුවෙන්ම කට්ටියක් කියනවා. ආණ්ඩුවේ කොටසක් කියන්නැ. හැබැයි සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් ඊයේ පෙරේදා කිව්වා මරණිය දණ්ඩනය දීම ගැන එතුමත් කැමතියි කියලා. දැන් මෙතනින් අපේ නායක හාමුදුරුවෝ දානය නිසා වැඩම කළා. ඕමල්පේ නායක හාමුදුරුවෝ. ඕමල්පේ නායක හාමුදුරුවෝ මෙතනින් දැන් යන ගමන් හිමින් මට කනට කරල අනුශාසනා කළා මරණීය දණ්ඩනය ප්‍රශ්නය ආපස්සට ගන්න එපා කියලා. කොහොම හරි ඕක කරන්න ඕන කියලා.
හාමුදුරුවෝ මට කිවීවා. මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරනවා ප්‍රශ්නයක් මට මේකට උත්තරයක් දෙන්න. මේ මරණීය දණ්ඩනය එපා කියලා කියන්නේ විදේශ උවමනාවට. විදේශ බලවේගවලට උවමනාවට. ඇමරිකාවේ කොටසක, මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි. නමුත් ඇමරිකාව පැත්තෙන් අපිට මෙහෙ ඉන්න අය කියනවා මරණීය දණ්ඩනය දෙන්න එපා කියලා. කැනඩාවෙන් කියනවා. යුරෝපය නියෝජනය කරන, යුරෝපා සංගමයේ තානාපති කියනවා. මේගොල්ලෝ තමයි කියන්නේ මේක දෙන්න එපා කියලා. ඒගොල්ලො කියන එක තමයි ආණ්ඩුවේ කොටසක් එපා කියලා කියන්නේ. හැබැයි ප්‍රශ්නය උග්‍රයි. ලේසි නැ දරුවෝ බේර ගන්න එක. මහ ඛේදවාචකයක්. විශ්වවිද්‍යාල විනාශයි. පාසල් විනාශයි. හිර ගෙවල් පිරිලා සියයට 60 ක් මත්ද්‍රව්‍ය නිසා. පුනරුත්ථාපන කඳවුරු ඉඩ නැ ලංකාවේ මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පවුල් වල දරුවෝ නිසා වෙලා තියෙන විනාශය ඒ අය දන්නවා ඇති. මේක එන්න එන්න ව්‍යාප්ත වෙනවා. නොමිලේ පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මත්ද්‍රව්‍ය ලබා දෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ එක වැඩක් ගැන මම කියන්නම්.
එක්තරා දුප්පත් පවුලක, තරුණ ගැහැණු ළමයි දෙදෙනෙක් හිටියා. ගමේ ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා, පාතාලයා,ඒ රූමත් තරුණ දරුවෙක් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්න කථා කළා. ඒ ළමයා බැහැ කිව්වා. අර පාතාල මත්ද්‍රව්‍යජාවාරම්කාරයා බල කරනකොට ඒ ගෑනු ළමයගේ අක්කත් ඒකට විරුද්ධ වුණා. අක්කයි, නංගියි දෙන්නම විරුද්ධ වුණා පවුලේ අයත් බැහැ කිව්වා. මොකද කෙරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා, පාතාලයෝ අර ගෑණු ළමයි දෙන්නවම මැරුවා. පවුලේ, ගෙදර ඔක්කොම නිදාගෙන ඉන්න වෙලාවෙදි ඇවිල්ලා අතපය කඩලා අර ළමයි දෙන්නා මැරුවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ දක්ෂකම. දැන් මේ වගේ මිනිස්සුන්ට මරණීය දණ්ඩණය දෙන්න ඕනද එපාද. ඕනයි කියන අය අත උස්සන්න බලන්න. අන්න ඕනයි කියන අය අත ඉස්සුවා. අන්න ඔක්කොම ඕක තමා ජනමතය. ඕක තමා ඇමතිතුමා ජනමතය. මේක තමා ජනමතය. එහෙම නම් රටේ ජනතාවට මේක අවශ්‍යයයි. ලන්ඩන් නගරයට ගොස් මම ඊයේ උදේ ආවේ. මගේ දරුවගේ උපාධි ප්‍රදානෝත්සවයට ගිහිල්ලා ලන්ඩන්වල. මම එහේ දවස් 2යි හිටියේ. මම දැක්කා මාධ්‍ය තුළ තියෙනවා ආණ්ඩුවෙන් තීන්දු කළා කියලා මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගේනවා කියලා. ඒ මොකද මම මේ මරණීය දණ්ඩනය දෙන්න යන නිසාවෙන්. මත්ද්‍රව්‍ය නිසා වෙලා තියෙන විනාශය මම කියන්නේ නෑ.
මම දැක්කා පාර්ලිමේන්තුවට අලුත් පනතක් ගේන්න ආණ්ඩුවේ ඇමතිවරයෙකුට භාර දීලා ඒ ඇමතිතුමා භාර ගත්තා කියලා පනත පාර්ලිමේන්තුවට ගේන්න. මරණීය දණ්ඩනය මේ රටේ නැහැ කියලා නීතියක් සම්මත වුණු දවසට පාර්ලිමේන්තුවේ එතන ඉඳන් මේ රටේ දරුවෝ බේරගන්න කෙනෙක් නැහැ. මේ රට කුඩු කාරයින්ගේ රාජ්‍යයයක් බවට පත් වෙනවා. අවිනීතකම, අසීලාචාරකම, අශිෂ්ටකම පාතාලය තමයි ඊට පස්සේ රට පාලනය කරන්නේ. දැන් මරණීය දණ්ඩනය තිබෙනවයි කියන එක නීතියේ තිබෙන නිසා යම් බයක් තිබෙනවා. මම හතර දෙනෙකුට මරණීය දණ්ඩනය දෙන්න අත්සන් කළාම ඒකට උසාවි ගිහින් ඒක වළක්වා ගත්තා. හැබැයි දැන් පාර්ලිමේන්තුවේ පනතක් ගේන්න යනවා මරණීය දණ්ඩනය අහෝසි කරලා. මේකෙන් ජයපැන් බොන්නේ කව්ද. මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ.
මම සෞඛ්‍ය ඇමති කාලේ සිගරට්වලට විරුද්ධව සටන් කළා. අරක්කුවලට මධ්‍යසාරවලට විරුද්ධව සටන් කළා. මගේ මුළු ජීවිත කාලයේ පාර්ලිමේන්තුවට පැමිණි දවසේ සිට මරණය අතේ තියා ගත්තු කෙනෙක් මම. මම මේ රටේ රාජ්‍ය සේවයේ පහළම තැන පුංචිම තැන සිටි කෙනෙක්. මම ග්‍රාම නිලධාරි විදියට සිටි කාලේ මගේ වයස අවුරුදු 26 යි. තමුන්නාන්සේලා පොළොන්නරුව පැත්තට ගියොත් හොයලා බලන්න මම වැඩ කළේ සෝමාවතියේ චෛත්‍ය පැත්තේ කොට්ඨාසයක් භාරව. මම ගංජා, කසිප්පු, අරක්කු මේ සියල්ලම අල්ලනවා ගමේ ඉන්න තරුණයෝ එක්ක එකතු වෙලා. සතියකට සැරයක් මේ වගේ අල්ලලා පොලිසියට ගෙනිහින් නඩු දානවා.
දැන් අද මේ කියන්නේ මත්ද්‍රව්‍ය සටනෙන් වෙන විපාකය මොනතරම් ප්‍රබල ද කියන එක. බුදුන් වහන්සේ දේශනා කළ පන්සිල් පදවලට සුරාමේරය කියන ශික්‍ෂා පදය ඇතුළත් කළේ ඇයි? බුදුන් වහන්සේගේ කාලෙත් මේක ප්‍රබල ප්‍රශ්නයක් නිසා. ඒ නිසා මරණීය දණ්ඩණය අහෝසි කෙරුවොත් සමාජය තුළ තමුන්නාන්සේලාගේ දරුවෝ ටික හදා ගන්න හෙට දවස මේ රට විනීත ශිෂ්ට සම්පන්න රටක් කරන්න බැහැ. මරණීය දණ්ඩනය අහෝසි කිරීම මේ රටේ අපරාධකරයින්ගේ විශිෂ්ට ජයග්‍රහණයක්.
අපරාධකාරයෝ රට පාලනය කරන්න පටන් ගන්නවා මරණීය දණ්ඩනය අහෝසි කළ දවසට. මේ රටේ දේශපාලනඥයෝ ඉන්නවා පාතාලයත් එක්ක සම්බන්ධ. හැම ආණ්ඩුවකම, හැම විපක්ෂයකම. පාතාලයෝ හිටියා අදත් ඉන්නවා. අදත් දේශපාලනඥයොත් එක්ක සම්බන්ධකම් තිබෙන අය ඉන්නවා. අර මහා පාතාල නායකයෝ අපි අද සිරභාරයට අරන් තිබෙනවා. පිටරට ඉඳලා අල්ලගෙන ගෙනාවා. මේවා කවුරුවත් කෙරුවේ නැහැ. මේ ප්‍රශ්නයට කවුරුවත් අත ගැහුවේ නැහැ. ලෝකයේ රාජ්‍ය නායකයෝ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට අත ගහනවා අඩුයි. ඒ එක්කෝ මරලා දාන නිසා. එහෙම නැත්නම් බලයෙන් පහ කරන නිසා.
කවුරු කොහොම කිව්වත් මම කියනවා අප්‍රේල් 21 ඛේදවාචකය බෝම්බ ප්‍රහාරය ජාත්‍යන්තර මත්ද්‍රව්‍යකාරයින් සම්බන්ධ වෙලා කළ වැඩක් කියලා. මම ගෙන ගිය වැඩපිළිවෙළ ආපසු හරවන්න ඒක ආපස්සට ගන්න මාව අපකීර්තියට ලක් කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඒක කළේ. අද මේ පිළිබඳව විවිධාකාරයේ සංවාද සාකච්ඡා තිබෙනවා. නමුත් මම මේ සටන නවත්වන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට විරුද්ධව කළ යුතු සියලු දේ කළ යුතුයි. මරණීය දණ්ඩනය දිය යුතුයි. මරණීය දණ්ඩනය දුන්නම රට විනයගරුක රටක් වෙනවා. බය ඇති වෙනවා. ඒකෙන් සමාජය යහපත් වෙනවා. අද ලෝකයේ මරණීය දණ්ඩනය නැති රටවල් ඉතාමත් අඩුයි. ඉන්දියාවෙත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. සිංගප්පූරුවෙත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි. ඇමරිකාවෙත් ප්‍රාන්ත 04 ක පමණ තමයි මරණීය දණ්ඩණය නැත්තේ. අනෙක් ප්‍රාන්තවල මරණීය දණ්ඩනය ක්‍රියාත්මකයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැන් සති දෙකකට කලින් කිව්වා ඇමරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න නම් මුළු රට පුරාම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඩොනල්ඞ් ට්‍රම්ප් එහෙම කියන ගමන් මේ රටේ ඉන්න ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝජිතයෝ කියනවා මරණීය දණ්ඩනය දෙන්න එපා කියලා. මේ එක එක බණ එක් එක්කෙනාට ඕන විදියට. මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාවොත් ඒ පාර්ලිමේන්තුවට ගේන දවස මම ජාතික ශෝක දිනයක් බවට පත් කරනවා.
මේ රටේ අනාගතය පිළිබඳව ප්‍රශ්නයක් ඒක. මරණීය දණ්ඩනය පාර්ලිමේන්තු පනතකින් අහෝසි කළොත් කුඩුකාරයන්ට ජාවාරම්කාරයන්ට පාතාලයන්ට ස්ත්‍රී දූෂකයන්ට ළමා අපචාර කරන අයට මංකොල්ලකාරයන්ට රට භාර දීමයි සිදු වන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතාව අවදියෙන් සිටීවි කියලා. ඒ නිසා මුළු මහත් ජනතාවගෙන් මම ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් කරන ඉල්ලීම තමයි රට වශයෙන් ජනමතයක් ගොඩනඟන්න ජන හඬක් නගන්න. මරණීය දණ්ඩනය රටට අවශ්‍යයයි කියන එක. ආණ්ඩුවේ කිහිප දෙනෙකුට ඕන විදියට මරණීය දණ්ඩනය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ පනතක් ගේන එක වළක්වන්න මේ රටේ ජනතාවට නායකත්වය ගන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
අද තමුන්නාන්සේලා වාසනාවන්ත පිරිසක් විදියට මේ ඔප්පු ලබා ගැනීමේ වැදගත් අවස්ථාවට සහභාගි වීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ඔබේ ජීවන වෘත්තිය වන ගොවිතැන වඩ වඩාත් සාර්ථක වේවා කියලා ආශිර්වාද කරනවා. ගොවියාට සතුටු වෙන්න පුළුවන් ස්වභාව ධර්මයාගේ ආශිර්වාදය තුළයි. හරියට වැස්ස වැටෙනවා නම් අනෙක් ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. ඒ නිසා වැස්ස වලාහක දෙවියන්ගෙන් අපි ඉල්ලීමක් කරමු ආයාචනය කරමු අපේ රටට නිතර වර්ෂාව ලබා දෙන්න කියලා. මේ රට කෘෂිකාර්මික රටක් විදියට රට ගොඩඑන්නත් ජාතික ආර්ථිකය ශක්තිමත් වෙන්නත් තමුන්නාන්සේලාගේ ජීවන වෘත්තිය තමුන්නාන්සේලාගේ දරුවන්ට හොඳ අනාගතයක් ඇති කරන්නත් හොඳ ආර්ථිකයක් ඇති කරන්නත් ස්වභාවධර්මයාගේ ආශිර්වාදය අපිට ලැබෙන්නට ඕනෑ. උදේ හවා බුදුන් වඳින කොට දෙවියන්ට පින් දෙනකොට රට වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරන්නේ මම ඒ දේ. රටේ දුප්පත්කම නැති වෙන්න දුගීභාවය නැති වෙන්න ස්වභාවධර්මයාගේ ආශිර්වාදය ලබා දෙන්න කියන එකයි මම බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා හැමවෙලේම උදේ හවා කියන්නේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ අනාගතය සාර්ථක වීම තමයි ජනතාවගේ අනාගතය සමෘද්ධිමත් වීම තමයි අපි දකින සැබෑ සිහිනය වන්නේ. ඒ නිසා මේ කටයුතුවලට සහයෝගය දුන්නා මැති ඇමතිතුමාලා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා රට වශයෙන් විශාල වැඩකොටසක් කර ගෙන යනවා. මහින්ද අමරවීර මන්ත්‍රීතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට සන්ධානයේ මහ ලේකම් විදියට විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒවගේම අනෙක් මැතිඇමතිතුමාලා අජිත් මාන්නප්පෙරුම මගේ රාජ්‍ය ඇමතිතුමා මම වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරනවා. මට වැඩ වැඩි නිසා මහවැලියේ පරිසර වැඩටික හුඟක් කරන්නේ අජිත් මාන්නප්පෙරුම රාජ්‍ය ඇමතිතුමා. ඔහු බොහොම දක්ෂ උගත් ඉංජිනේරුවරයෙක්. ඒ සියලු දෙනාටත් නිලධාරීන් ඔබ සියලුදෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ඔබෙන් සමු ගන්නවා.
තෙරුවන් සරණයි.

ma

mahaweli

mah1 2

mah1 1