ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්විම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (16) ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

මෙහි දී බාලදක්ෂයන් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාව ලෝකයට ගෙන යෑමට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවයි. අනතුරුව බාලදක්ෂයන් සමඟ සුහද කථා බහකට ද එක් වූ ජනාධිපතිතුමා තමා පාසල් වියේ දී බාලදක්ෂයකු ලෙස කටයුතු කිරීමේ දී ලත් අත්දැකීම් ද සිිහිපත් කළ අතර එහිදී ලද හික්මීම ජනාධිපති ධූරය වන් භාරධූර වගකීමක් දැරීමට තමාට මහඟු පිටිවහලක් වූ බව ද සඳහන් කළේ ය.

විශේෂයෙන් මෙම ජම්බෝරිය සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා වීසා නොලැබුණු දරු දැරියන් වෙත වීසා ලබා දෙන ලෙස දන්වමින් තානාපතිවරිය දැනුවත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කරන ලදී.

සියලුම බාලදක්ෂයන් සහ ආචාර්යවරුන් වෙත ජනාධිපතිතුමා මෙහිදී සිය සුබපැතුම් පිරිනැමූ අතර අනතුරුව පිරිස සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය.

24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ජූලි 21 වන දින සිට පුරා සති දෙකක් ඇමෙරිකාවේ බටහිර වර්ජිනියා ප‍්‍රාන්තයේ මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් 100 කට අධික කණ්ඩායමක් සහභාගි වෙයි.

ජම්බරි කාලය තුළ ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කරමින් විශේෂ සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා විසින් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

ජනාධිපතිතුමා අතින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ජාත්‍යන්තර කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාන පෙරේරා මහතා වෙත ජාතික ධජය පිරිනැමූ අතර ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක, නියෝජ්‍ය කණ්ඩායම් නායක වත්සලා විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් සහ බාලදක්ෂ කොමසාරිස්වරුන් හා බාලදක්ෂයින් හා බාලදක්ෂ බාලිකාවන් මෙම අවස්ථාවට එක් වූහ.