මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධාන කෙරෙන ඉහළම ක්‍රීඩා සම්මාන උලෙළ වන ජනාධිපති ක්‍රීඩා සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මෙරට ලියාපදිංචි ක්‍රීඩා සංගම් 65ක් අතුරින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් අංශවලට ජාතික වශයෙන් සම්මාන පිරිනැමෙන එකම උලෙළ වන මෙම සම්මාන උලෙළ ඉතා වර්ණවත් අයුරින් පැවැත්වුණු අතර 2017 ජනවාරි සිට වසර 2018 දෙසැම්බර් දක්වා විවිධ ක්ෂේත්‍රවල දස්කම් දැක්වූ 50කට අධික විශිෂටයෝ මෙහි දී ජනාධිපතිතුමා අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උලෙළේ බර ඉසිලීමේ ලෝකඩ පදක්කම දිනාගත් ඉන්දික දිසානායකට සහ දක්ෂතම ක්‍රිඩිකාවට හිමි සම්මානය එම ක්‍රිඩා උලළේ දී බොක්සිං ලෝකඩ පදක්කම දිනාගත් අනුෂා කොඩිතුවක්කුට හිමි විය.

තුන්වන වරටත් සංවිධානය කෙරෙණු මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා ජයග්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා ක්‍රීඩාව වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අමිල මෙහෙවරක් ඉටුකළ විශිෂ්ටයින් වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීම ද විශේෂත්වයකි.

ඒ අනුව ජාතියේ ක්‍රීඩා සංවර්ධනය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ක්‍රීඩා ප්‍රභා, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා දේශාන්තර හා ක්‍රීඩා රත්න යන සම්මාන ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර, හෙක්ටර් අප්පුහාමි හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.