ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය සහ ඡායාරූප තරඟයේ ත්‍යාග ප්‍රදානය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇගයීම කොළඹ ජේ.ඩී.එල්. කලාගාරයේදී පසුගියදා (26) පස්වරුවේ පැවැත්විණ.

ජනමාධ්‍ය ඡායාරූප මගින් සාමාජීය, ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික සහ දේශපාලන වශයෙන් ජනතාව දැනුවත් කිරීම පදනම් කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ආරක්ෂක රාජ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මැතිතුමා විශේෂ අදහස් දැක්වීමක් කළේය.

'ඡායාරූප ශිල්පය කියන්නේ අද ලෝකයේ ඉතාමත් ඉහළින් පිළිගන්නා ඉතාමත් වැදගත් වෘත්තියක්. ඒ අතරින් ජනමාධ්‍යයට අදාළ ජනමාධ්‍ය ඡායාරූප ශිල්පය ඊටත් වඩා ඉහළයි කියා අපි සියලු දෙනාම දන්නවා. ජනමාධ්‍ය ඡායාරූප ලබා ගැනීම බොහෝ අවස්ථාවේදී අතිශය දුෂ්කර කරුණක්. ජීවිතය පිළිබඳ අනතුරු වගේම වෙනත් අනතුරු දායක අවස්ථාවන්ට තර්ජනයන්ට පීඩනයට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා.

යුද වාර්තාකරණය ඇතුළු ගැටුම්කාරී අවස්ථාවලදී ජීවිත අහිමිවූ හා තම ජීවිතයේ මාරාන්තික අත්දැකීම් වලට අනතුරු වලට මුහුණ දුන් ඡායාරූප ශිල්පීන් ලොව පුරාම සිටිනවා. අපේ රටේත් එවැනි ඡායාරූප ශිල්පීන් සිටිනවා. කැමරාවක් අත තිබුණු පමණින් හැමෝටම ඡායාරූප ශිල්පීයෙකු වන්නට බැහැ. ජීවිතය දැනෙන්න ජීවත් වන අයට ජීවිතය විදින්න පුළුවන් අයට සංවේදී අවස්ථා ක්ෂණිකව හඳුනාගන්න පුළුවන් අයට ජනතාවාදීව හිතන අයට තමයි හොඳ ඡායාරූප ශිල්පීන් වන්න පුළුවන් වන්නේ.

අපේ රටේ ජනමාධ්‍ය ඡායාරූප ශිල්පියා තමන් නියෝජනය කරන මාධ්‍ය ආයතනයටත් ක්ෂේත්‍රයටත් පාඨකයන්ටත් සිදු කරන්නේ අද්විතීය සේවාවක්. ඡායාරූප මාධ්‍යවේදියා වෘත්තීය වශෙන් මුහුණ දී සිටින ගැටළු පිළිබඳ සොයා බැලීමට රජයක් ලෙස අපේ මැදිහත් වීම සිදු කරන්න ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මා බැදී සිටිනවා.'

මෙහිදී සිය ජනමාධ්‍ය සේවා කාලයේදී ඡායාරූප මාධ්‍යවේදීයෙකු ලෙස ඉටුකල විශිෂ්ඨතම සේවාව සහ කැපවීම ඇගයීමට ලක් කරමින් සේන විදානගම, ශ්‍රී ලාල් ගෝමස්, වෝල්ටර් පෙරේරා, බන්දු එස් කොඩිකාර, එස්.චිත්‍රානන්ද, සරණපාල පමුණුව, ඇල්ෆ්‍රඩ් සිල්වා, යූ.එන්. පෙරේරා යන මහත්වරුන් අගයමින් තිළිණ ප්‍රදානය කරන ලදී.

ඡායාරූප තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහකයින් හට රන්, රිදී, ලෝකඩ තිළිණ ප්‍රදානය සිදු විය. පළමු ස්ථානය සඳහා මුදලින් රුපියල් පනස්දහසක ත්‍යාගයක්ද පිරිනමන ලදී. ඡායාරූප තරගයේ පළමු ස්ථානය ළහිරු හර්ෂණ, දෙවන ස්ථානය ලේක්හවුස් ආයතනයේ රුක්මල් ගමගේ, තෙවන ස්ථානය චමිල කරුණාරත්න යන ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන් විසින් හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස, ජීව සමාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය කොන්සි පෙරේරා යන මහත්ම මහත්මීන් ද කලාකරුවන් සහ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පීන් පුවත්පත් කතුවරුන් ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.