රාජ්‍ය බැංකු වඩාත් ශක්තිමත් කරනු මිස එය කිසිසේත් පෞද්ගලිකරණය නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එය එදා මෙන්ම අද දවසේ ද තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ ලංකා බැංකුවට වසර අසූවක් සපිරීම නිමිත්තෙන් (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

පුළුල් පරාසයක විහිදුණු සාඩම්බර ගමන් මඟක් ඔස්සේ ජනතාවට අද්විතීය මූල්‍ය සේවා පිරිනමමින් මෙරට ප‍්‍රමුඛතම මුල්‍ය සේවා සම්පාදකයා බවට පත්වෙමින් වාණිජ බැංකුකරණය, වෙළෙඳ මුල්‍යයනය, සංවර්ධන මුල්‍ය පහසුකම්, උකස් මූල්‍ය පහසුම් සහ වෙනත් මුල්‍යමය සේවා රැසක් ජනතාව වෙත සපයන ලංකා බැංකුව සිය අසූ වන සංවත්සරය “නව්‍යකරණයෙන් ඉදිරියට” යන තේමාව යටතේ සමරයි.

මෙම උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ආයතනික වශයෙන් ඇති දූෂණ, අදක්ෂ කළමනාකරණ සහ වෘත්තීය සමිතිවල අන්තනෝමතික කි‍්‍රයාවන් හේතුවෙන් රජයට ආදායම් උපයා දෙන ආයතනවල මතු ව ඇති තත්ත්වය කිසිවෙකුට රහසක් නොවන බවයි.

එම ආයතනවලට අද දවසේ ශක්තියක් වී ඇත්තේ රාජ්‍ය බැංකු බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් වසර අසූවක් පුරා ලංකා බැංකුව ඉටුකරන මෙහෙවර ද ඇගැයීමට ලක් කළේය.

ලංකා බැංකුවේ අසුවන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් එළිදැක්වීම ද සිදු කෙරිණි.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද, ලංකා බැංකුවේ සභාපති රොනඞ්ල් සී. පෙරේරා, ප‍්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.