2019 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙම අවස්ථාවට සමගාමීව ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා මාධ්‍ය ප්‍රචාරය ලබාදිය හැකි ආකාරය පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් ද, පැවැතිවිණ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ රැස්වීමේ දී මෙවර පෙරහර මංගල්ලය පැවැත්වෙන දින වකවානූ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

රටේ ජාතික උරුමයක් වන දළදා ඉතිහාසය සම්බන්ධ මෙම පෙරහැර වාර්ෂිකව පැවැත්වීම මගින් එහි සංස්කෘතික වටිනාකම් අනාගත පරපුරට දැකගැනීම සඳහා ආරක්ෂා කිරීමේ වැදගත්කම ජනමාධ්‍ය ලේකම් සුනිල් සමරවීර මහතා, උපරිම ආරක්ෂාවක් සලසා ඇති, උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත මෙවර පෙරහැර සඳහා සියලු මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කිරීමේ වැදගත්කම ද, පෙන්වා දුන්නේ ය.  

අගෝස්තු මස 2 වන දින කප් සිටුවීමෙන් ආරම්භ වන මෙම පෙරහැර මංගල්‍යයය 15 වනදා උදෑසනින් අවසන්වීමට නියමිතය. පෙරහැර නැරැඹීම සඳහා සහභාගිවන ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශීය රටවලින් පැමිණෙන සැදැහැවතුන්ට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකසා ඇති බව ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය. ඒ සඳහා පොලිස් නිලධාරීන් 6000 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2000 ක් ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් යෙදවීමට කටයුතු යොදා ඇති බව ද, ඔහු වැඩිදුරටත් පැවැසීය.     

අනගිභවනීය වැදගත්කම් රැසකින් හෙබි දළදා වහන්සේ මූලික කරගනිමින් කෙරෙන ඇසළ පෙරහැර හෙවත් මහනුවර දළදා පෙරහැර වනාහි සියලු ලෝකවාසී බෞද්ධ ජනයා ඉතා උනන්දුවෙන් නරඹන අති උත්කෘෂ්ට බෞද්ධ මංගල්‍යයකි. භක්තිමත් ආගමික මංගල්‍යයක් මෙන්ම ලෝ වාසී වෙනත් ජනයාට මනස්කාන්ත සංස්කෘතික මංගල්‍යයකි. පුරාණ ප්‍රෞඩ රජ දරුවන්ගේ ඖදාර්යය මනාව පිළිබිඹු කෙරෙමින් අතීතයේ පැවැති සෞන්දර්යය මනාව පිළිබිඹු වන ආකාරයට  සෑම වසරකම මහනුවරදී ඇසළ පෙරහැර පවත්වනු ලබයි.

ඈත අතීතයේ පටන්ම පැරණි ආගමික වතාවත් ජාතික සිරිත් විරිත්, ඇදුම් පැළඳුම්, ක්‍රීඩා කලා ආදී ජාතියේ විවිධ සංස්කෘතික දායාදයන් එක්තැන් කොට වර්ෂයක් පාසා පවත්වන ඇසළ පෙරහැර අද්විතීය වටිනාකමකින් යුත් සංස්කෘතික කලා මංගල්‍යයක් වේ. දින ගණනාවක් පුරා පැවැත්වෙන ඇසැළ පෙරහැරේ ඉතිහාසය දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගුණකි.

අගෝස්තු මස 5 වෙනි දා සිට 15 වෙනි දා තෙක් පෙරහර පැවැත්වෙන අතර, එදින දහවල් පෙරහැරෙන් ⁣2019 වසරේ ඇසළ පෙරහර නිමාවට පත්කිරීමට නියමිතව තිබේ.