ණය ගෙවීමට හැකි ආර්ථිකයක් බිහිකිරීමට කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි. පසුගිය වසර කීපය තුළ අපනයන ආර්ථිකය දියුණු කරමින් සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් බිහිකරමින් දෙස් විදෙස් ආයෝජන රටේ ඇති කරමින් සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රගතියක් අත්පත්කරගත් බව සිහිපත් කළ අගමැති, පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාර සිදු නොවුණා නම් ආර්ථිකයේ ඵලදායී දැවැන්ත පෙරළියක් සිදුවන බවත් ප්‍රකාශ කළේය.

මංතීරු හතරකින් හෙබි කඩුවෙල බියගම පාලම නිල වශයෙන් ජනගත කිරීම පෙරේදා (31) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කඩුවෙලදී සිදුවුණේ සමරු ඵලකයක් නිරාවරණය කිරීමෙනි.අනතුරුව පැවැති මහජන රැස්වීමේදී අගමැතිවරයා මේ අදහස් පළ කළේය.

තම දරුවාගේ අනාගතයට ඉදිරි වසර දහයේ කුමන ප්‍රගතියක් සිදුවන්නේද යන්න කී දෙනෙකු සිතුවාදැයි යන්න ප්‍රශ්න කරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ සිතිය යුත්තේ දරුවන්ගේ අනාගතය ගැන බවයි.

නවයුගයක නව දේශපාලනයට පිවිසීමේ අවශ්‍යතාව මතකයේ තබාගනිමින් ක්‍රියා කළයුතු බව අවධාරණය කළ අගමැතිවරයා, පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපස් දෙනාටම වෙඩි තැබිය යුතු බවට ජනතාව නඟන හඬින් පැහැදිලි වන්නේ නව ප්‍රවණතාවක් රටේ ඇතිවිය යුතු බවයැයි ද සඳහන් කළේය. ඒ සඳහා තමයි විප්ලවීය ආර්ථික වෙනසක් රටේ සිදුකරමින් ලෝක වෙළෙඳපොළ ආක්‍රමණය කරගෙන ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට අප රට පත්කරගැනීම අපගේ ඉලක්කය වී තිබෙන්නේ යැයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රටේ ඇතිකරගැනීමට ඉදිරි වසර පහ තුළ ආර්ථිකයේ විශාල පිම්මක් පැනීම අරමුණ බවත් අගමැතිවරයා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන හාරසිය දොළහක ප්‍රතිපාදන මේ පාලම සඳහා වැය කළේය.

සියනෑ කෝරලයත් කොළොම්තොටත් යා කරන මේ පාලමේ දිග මීටර් දෙසිය අසූවකි. නව පාලමේ පළල මීටර් දහයයි දශම හතරකි. මංතීරු හතරකි. එක් පැත්තකට මගී මංතීරුව මීටර් එකයි දශම පහකි.

මේ අවස්ථාවට පැමිණි අගමැතිවරයා, දිවංගත ඇමැති එම්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ පිළිරුව හමුවේ පුෂ්පෝපහාර දැක්වූයේ පැමිණ සිටි මැති ඇමැතිවරු එක්කර ගනිමිනි. තිනියාවල පාලිත නාහිමියෝ පිරිස පංචශීලයේ පිහිටවනු ලැබීය. කඳුබොඩ අමරඥාන නාහිමි ඇතුළු මහා සංඝරත්නය, කතෝලික පූජකවරුන්ද මේ අවස්ථාවට එක්වූහ.

එහිදී වැඩිදුරටත් අගමැතිවරයා මෙසේද කීය.

ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ඇතිකර ගැනීමේදී අායෝජකයන් පැමිණෙනවා. නව නීති රීති සකස් වෙනවා. සංචාරකයන්ගේ පැමිණීමට ආකර්ෂණීය ක්‍රමවේද සැකසෙනවා. කොළඹ වරාය, මත්තල හම්බන්තොට ප්‍රජාවට නව ආර්ථික පුනරුදයක් ඇතිවෙනවා. අපනයන ආර්ථිකය ඉහළ නැංවීමට ක්‍රමවේද ඇති වෙනවා. ගම් නියම්ගම් පාසා නව තාක්ෂණය සැමටම ලබාදෙනවා. තවත් බොහෝ ක්‍රමවේද ණය ගෙවීමේ ආර්ථිකයට ඇතුළත් වෙනවා. හිඟන්නන් මෙන් හැමදාම ක්‍රියා කිරීමට නොහැකියි. හිස කෙළින් තබා‍ගෙන සැමට කටයුතු කළ හැකි පොහොසත් රටක් නිර්මාණය කරනවා.

මංතීරු හතරක පාලමක් බවට පත්වුණු මේ ස්ථානයේ අතීතයේ තිබුණේ තොටුපළක්. මතක අය මෙතන රැස්වෙලා සිටින පිරිස අතරේ ඉන්න පුළුවන්. ෂෙල්ටන් ඔබට එම අතීතය මතකයි නේද? මේ පාලම සෑදීමට ආරම්භක පදනම වැටුණේ මෙහෙමයි. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකු ලෙස ක්‍රියා කළ දිවංගත එම්. ඩී.එච්. ජයවර්ධන මහතා 1977 ඡන්ද වැඩකටයුතු නිමා කර ගෙදර ගිහින් දුරකථනයෙන් මට කතා කළා. මේ ස්ථානයේ පාලමක් හදමු. ඒ සඳහා අපි දෙදෙනාම කතා කරමු කිව්වා. මැතිවරණය දිනාගෙන ඇමැති මණ්ඩලයට ගිහින් පාලමට මුදල් වෙන් කර ගත්තා. මට අවශ්‍ය වුණේ මංතීරු හතරක පාලමක් නිර්මාණය කරන්න. අනාගතය ගැන හිතලා එම අදහසේම ක්‍රියා කළා. එම්. ඩී.එච්. ඇමැතිතුමා පැවසුවේ මුලින්ම මංතීරු දෙකකට සීමා කර පසුව මංතීරු හතර දක්වා ගෙනයමු කියලා. එම අදහසට මම කැමති වුණා. මංතීරු හතරක පාලමක් නිර්මාණය කිරීමේ අදහස අතහැරියේ නෑ.

දිවංගත ප්‍රේමදාස අගමැතිතුමා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියුණුව ඇති කිරීම පිළිබඳව කතා කළා. නව මාර්ග නිර්මාණය වුණා. කොටුවේ ඔරලෝසු කණුවේ සිට පාර්ලිමේන්තුව, රාජගිරිය දක්වා බැලුම්මහර පැත්තට ඒමට මාර්ගයක් තිබීමේ හොඳ අදහසක් තිබුණා. ඒ අනුව බියගම සපුගස්කන්ද බෙල්ල කපාපු හන්දිය (එතැනට කියන නම අදටත් මේ නම භාවිතා වෙනවා) දක්වා මාර්ගයක් ඇති කළා. පළමුවන මාර්ග පද්ධතිය එදා නිමකර වසර තිස්තුනකට පසුව දෙවන මාර්ග පද්ධතිය ඇතිවුණා. එම්. ඩී.එච්. ඇමැතිවරයා අදහස් පළ කළේ නැතිනම් මේ පාලම නෑ. මෙතැනදී තවත් අයකු සිහිපත් කළ යුතුයි. ඒ තමයි දිවංගත පෝල් පෙරේරා මන්ත්‍රීතුමා, එතුමාත් විශාල සහායක් ලබාදුන්නා. ඇමැති කබීර් හෂීම් මහතා මංතීරු හතරක පාලමක් ලෙස මෙය නිර්මාණය කර දුන්නා. වසර 2002 දී කොළඹ නගරයේ වට පාරක් නිර්මාණයට යෝජනා කළත් එදා එය සිදු කරන්න අපට නොහැකි වුණා.

කැලණි පාලම තව පුළුල් කර වරායට රාජගිරියට අතුරුගිරියට පුළුල් කරනවා. සැහැල්ලු දුම්රිය මාර්ග පැමිණෙනවා. මෙය සංචාරක ව්‍යාපාරයේ කොටසක්. රන් මාවත් වැඩසටහන යටතේ මාර්ග පද්ධතියේ උන්නතිය වෙනුවෙන් කබීර් ඇමැතිතුමා ඉටු කරන සේවයට ස්තුතියි. තවත් විශාල මාර්ග කොළඹ සිට හම්බන්තොටට පැමිණෙනවා. දඹුල්ල ත්‍රිකුණාමලය මාර්ග පද්ධති එනවා. මෙහිදී ඉඩම්වල පර්චස් එකක මිල ගණන් ලක්ෂ ගණනින් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ නිසා දැන්ම ඉඩම් විකුණන්න එපා. මාර්ග පද්ධති දියුණුවට විශාල වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා.

තාක්ෂණයෙන් රට පරිපූර්ණ කිරීමේ වගකීම භාරගෙන ඒ සඳහා කැපවීමෙන් ඇමැති සුජීව සේනසිංහ මහතා ලබාදෙන සහායට ප්‍රශංසා කරනවා. රටේ සෑම තැනම යමින් එක තැනක ඉන්නේ නැතුව එතුමා විශාල සේවයක් සිදු කරනවා.

වසර 1977 දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා ඇති කළ නව ආර්ථික විප්ලවය නිසා මාර්ග පද්ධති ඇතිවීමත් රට නව ආර්ථිකයකට පිවිසීමත් සිදුවුණා.

ගමේ නව ආර්ථිකයක් අප ඇති කරනවා. වසර 2015දී ආණ්ඩුව භාර ගත්තේ ණය කන්දක් සමඟයි. ඉන් පෙර ජාත්‍යන්තරයේ ණය ගත්තු උදවිය කොතරම් ණය ගත්තාදැයි කිවහොත් අපේ රටට ණය නොදෙන තත්ත්වයක් ජාත්‍යන්තරයේ තිබුණා. ඊට හේතුව ණය නොගෙවීමයි. මේ තත්තවය හමුවේ ණය ජාත්‍යන්තරයට ගෙවමින් ජාත්‍යන්තර විශ්වාසය අප දිනා ගත්තා. ඒ නිසා නැවත ජාත්‍යන්තරයෙන් අපට ණය ගැනීමට හැකිවුණා. ජාත්‍යන්තර ආධාර රටට අවශ්‍යයයි. ජාත්‍යන්තරයට ණය ගෙවීමට සිදුවීමෙන් අපි සේරම දුක්විඳිනවා. ආණ්ඩුවට දොස් පැවරුවත් සත්‍ය ජනතාව හමුවේ කියනවා.

සමාජ ආයෝජන සිදුකළා. සෞඛ්‍ය සේවයේ පෙර නොවූ විරූ පහසුකම් ලබාදුන්නා. බියගම රෝහලක් පිහිටුවනවා. ළඟම පාසල හොඳම පාසල බවට පත් කරමින් දරුවන්ට ටැබ් පරිගණක ලබාදෙමින් අධ්‍යාපනයේ සුවිශාල වෙනසක් සිදුකර තිබෙනවා. අමාත්‍යාංශ කීපයකින් නිවාස ඉදිකිරීම සිදුකරනවා. සමෘද්ධිය ලබාදුන්නා. ගමට මූල්‍ය පහුසකම් ලබාදෙමින් ගම්පෙරළිය යටතේ ගම සංවර්ධනය වෙනවා. සියලුම අංශවල සමාජ ආයෝජන යටිතල පහසුකම් සිදුවෙනවා.

වසර 2015ට වඩා බැංකු තැන්පත් ගිණුම්වල මුදල් තිබෙනවා. සමහර තැන්පතුවල මුදල් දෙගුණයක් වී තිබෙනවා. මේ ගැන බැංකුවලින් අසා දැනගන්න පුළුවනි. මුදල් නැතුව ඉදිරියට යෑමට නොහැකියි.

ගංවතුර නියඟ ස්වාභාවික විපත්වලින්ති බැටකමින් ප්‍රාදේශීය සභා ඡන්දය පැරදෙමින් දින පනස් හයේ අර්බුදයට මුහුණ දෙමින් සියලු අභියෝග ජයගනිමින් සංවර්ධනය දිගටම ගෙන ගියා. ඒ කිසිවකින් අපි පැරදුණේ නෑ.

ඉන්පසු පාස්කු දිනයේ බෝම්බ ප්‍රහාරය ඇතිවුණා. ඊට පෙර හොඳ ආර්ථිකයක් අපි ගොඩන‍ඟාගෙන තිබුණා. අවුරුදු උත්සව කීයක් නම් රට වටා සංවිධාන කර තිබුණාද. බෝම්බ ප්‍රහාරය නිසා ඒවා පැවැත්වීම නතර කළා.

පොලිසියට ස්තුතියි. සියලු තොරතුරු කඩිනමින් සොයාගෙන ඊට සම්බන්ධ සැවොම හඳුනාගත්තා. අත්අඩංගුවට ගත්තා. ත්‍රිවිධ හමුදාවත් රටේ ආරක්ෂාවට හොඳ සහායක් ලබාදුන්නා. ඒ ගැනත් ස්තුතිවන්ත වෙනවා.

මේ වනවිට පොලිසිය, දෙසිය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්ද සිදුකරනවා. ත්‍රස්තවාදීන්ට යම්තම් හෝ සබඳතා පැවැත්වූ සෑම අයකු ගැනම සොයා බලන්න උපදෙස් දී තිබෙනවා. අමෙරිකාවේ එෆ් බී අයි සේවාව මා සමඟ පැවසුවේ මාස දෙකක් තුළදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන සියලුම තොරතුරු සොයාගැනීම පිළිබඳව විමතියට පත්වන බවයි. මෙවැනි සොයාගැනීම් වෙනත් රටක සිදු වී නැති බව ඉන් පැහැදිලි වෙනවා.

බෝම්බ පිපිරීම සමඟ එම කාල පරාසයේ විශාල බියකින් ජනතාව කාලය ගෙව්වා. කිසිවකු එළිපෙහෙළියට ගියේ නෑ. වර්තමානය වන විට විශාල විශ්වාසයක් රටේ ඇති වී තිබෙනවා.

මෙවර කතරගම උත්සවයට ඉතිහාසයේ වැඩිම පිරිස සහභාගි වී තිබෙනවා. උත්සවය අවසන් වුන දිනයේ පැමිණි සෙනඟ කන්දරාව ඉතිහාසගත වෙනවා. රටේ ආරක්ෂාව තහවුරු වී තිබීම පිළිබඳව කදිම නිදර්ශනයක් ලෙස මෙය දැක්වූවා.

ඇතිවුණු බෝම්බ ප්‍රහාර වැනි සිදුවීම් නැවත ඇති නොවීමට අප සැවොම ක්‍රියා කළ යුතුයි. අප සැවොම නිරතුරුව විමසිල්ලෙන් සිටීම වැදගත්. සිදුවුණු කුමන්ත්‍රණ සියල්ල නිමයි යන මතයේ පිහිටා ක්‍රියා නොකළ යුතුයි.

ඇතිවුණ සිදුවීම් හමුවේ ආණ්ඩුව වැටෙනවා. වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකියි. ඇතැමුන් පැවසුවත් ඒ සියල්ල අසත්‍ය බවට දැන් ඔවුන්ට වැටහී තිබෙනවා.

සංචාරකයන් ලක්ෂයකට වඩා මේ වසරේ රටට පැමිණියා. දෙසැම්බරයේ සංචාරක පැමිණීම සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායම් ලැබීමට ක්‍රමවේද සකසා තිබෙනවා. ගුවන්ගමන් ගාස්තු, හෝටල් ගාස්තු මිල ගණන් පහත දමා තිබෙනවා. නොවැම්බර් දෙසැම්බර් මාසවලදී සංචාරක ව්‍යාපාරයේ නැවත දියුණුවක් ලබාගැනීම අරමුණ වී තිබෙනවා. ප්‍රශ්න තියෙනවා. පාඩු ලැබීම් තියනවා. රුපියල් මිලියන දෙසීයක පාඩුවක් බෝම්බ ප්‍රහාර නිසා සිදුවුණා. ඊටත් වඩා මිල කළ නොහැකි මිනිස් ජීවිත අහිමි වුණා.

සැප්තැම්බර් මාසය වනවිටදී ආර්ථිකයේ හොඳ වෙනසක් ඇති කරනවා. ඒ අනුව වසර අවසානය වන විටදී ස්ථාවර ආර්ථිකයකට රට පත් කරනවා.

අනාගතයේදී කඩුවෙල බියගම විශාල නාගරික සංකීර්ණයක් බවට පත්වෙනවා. නාගරික දියුණුව අවිස්සාවේල්ල දක්වාත් දීර්ඝ කරනවා. හෝමාගම දක්වා දැනටමත් නාගරික දියුණුව පුළුල් කිරීමට සැලසුම් තිබෙනවා.

අභියෝගවලට නොබියව මුහුණ දීමට ශක්තිය තිබෙනවා. මා කෙතරම් බැණුම් අසනවාද මා තරම් බැණුම් අසන්නකු තවත් නෑ. ඒ බැන්නාට කමක් නෑ. රටට හොඳ ස්ථාවර ආර්ථිකක් ලබාදී මහජන සුබසිද්ධිය ඇතිකර පොහොසත් රටක් නිර්මාණය කිරීමට දිවිහිමියෙන් ක්‍රියා කරනවා. සීතාවක රාජසිංහ රජුගේ බග කොටුව වුණු කඩුවෙලට පැමිණි ඔබ සැම හමුවීමට ලැබීම අභිමානයක් ලෙස සලකනවා. පාලමේ වැඩ කටයුත්තකටම සම්බන්ධ වුණු ඉදිකිරීම සිදුකළ සෑම තරාතිරමකම සේවකයන්ට කෘතඥතාව පළ කරනවා.