ගොවි ජනතාවට මුහුණදීමට සිදු වූ ස්වභාවික විපත්වල දී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනපති පවසයි.

ගොවි ජනතාවට මුහුණදීමට සිදුවූ ස්වභාවික විපත්වලදී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ගොවි ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් වත්මන් යුගයේ පුළුල් කාර්යභාරයක් ඉටුකර තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය වෙනුවෙන් (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සෑම ආණ්ඩුවකම මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වූ මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නිමා කිරීමට තමා නායකත්වය ගත්තේ ද රටේ ගොවි ජනතාව වෙනුවෙන් බවයි.

ගොවී ජනතාවගේ ප්‍රධාන ගැටලු වන ජලය සහ ඉඩම් ගැටලු විසඳීමට මෙම යුගයේ දී දැඩි කැපවීමකින් කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ 1200කට කෘෂි රක්ෂණ වන්දි මුදල් ප්‍රදානය සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනෙකු වෙත වන්දි මුදල් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය පී.හැරිසන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසූරිය මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.