ආර්ථිකය තුළ අපනයන, නිෂ්පාදන, ආදායම ඉහළ නංවමින් ඉන් ඉදිරියට ගමන් කළ යුතු බවත් ආදායම වැඩිකර රටේ ණය ප්‍රමාණය ගෙවිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අනාගතයේ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (01) ඉන්දියානු ආධාර යටතේ කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකළ "මෙට්‍රෝ හෝම්ස්" මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
වත්මන් ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරය දැඩි විශ්වාසයක් තබා තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසු ගතවූ කෙටි කාලය තුළ පමණක් ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 1,000කට අධික ණය ආධාර ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය. රුපියල් මිලියන 7,000ක වියදමින් ඉදිකළ මෙම මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 626කින් හා වෙළෙඳසැල් 120කින් සමන්විත වේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
"මෙට්‍රෝ හෝම්ස්” ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබෙනවා. මේ ප්‍රදේශය තුළ විශාල සංවර්ධනයක් ඇතිවී තිබෙනවා. මීට පෙර පැවති නිවාස වෙනුවට අලුතින් නිවාස ඉදිකර තිබෙනවා. මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සිදුකළ ටොටා සමාගමේ තවත් වර්ගඅඩි මිලියන 03ක විශාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සූදානම් වෙනවා. එය සාප්පු සංකීර්ණ, කාර්යාල, නිවාස ඇතුළත් මිශ්‍ර සංවර්ධනයක් සහිත කුඩා නගරයක් බව සඳහන් කළ යුතුයි. මෙතෙක් කල් මෙම මාර්ගයේ නවලෝක ගොඩනැඟිල්ල දක්වා පමණක් තිබූ සංවර්ධනය මේ ප්‍රදේශවලටත් පැමිණෙමින් තිබෙනවා. මෙම සංවර්ධනය තුළින් බොහෝ පිරිසකගේ ආදායම් මට්ටම් ඉහළ යනවා. ප්‍රදේශයේ ජනතාවට නව ව්‍යාපාර ආරම්භ කළ හැකි හිතකර වටපිටාවක් මේ වන විට ඇතිකර තිබෙනවා. මෙම ප්‍රදේශය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරනවා. ඉන්දියන් සාගරය මධ්‍යයේ ප්‍රධාන මහ නගරය බවට කොළඹ නගරය පත්කිරීම සැලසුමේ කොටසක් බව සඳහන් කරන්න කැමතියි. මෙම ස්ථානය ඇතුළුව කොළඹ නගරය තුළ හා බස්නාහිර පළාත් අවට අලුතින් ගොඩනැඟිලි ඉදිවෙමින් ශීඝ්‍ර සංවර්ධනයක් ඇතිවෙනවා. ඒ වගේම අලුතින් නාගරික සංවර්ධන වැඩකටයුතු සිදුවෙනවා. පසුගිය වසර කිහිපය තුළ බස්නාහිර පළාතේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා. එවැනි පරිවර්තනයක් ඇති කිරීමට අපට හැකි වුණා. මෙය මහ නගරයක් ඇති කිරීමේ ආරම්භය බව සඳහන් කළ යුතුයි.