දරුවා විෂය ප‍්‍රවීණයෙකු මෙන්ම මානවවාදියෙකු බවට පත්කිරීමට ගුරුවරයා මැදිහත්විය යුතු බව ජනපති පවසයි.


දරුවා විෂය ප‍්‍රවීණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවෙකු ලෙස බිහිකිරීමට ගුරුවරයා මැදිහත්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණවලදී ගැඹුරු අවබෝධයෙන් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පසුගියදා කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.
2019 ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයට පෙනි සිටි 15,000ක් අයදුම්කරුවන් අතරින් පළමු වටය සඳහා 587 දෙනෙකු සඳහා මෙලෙස ගුරු පත්වීම් ප‍්‍රදානය කෙරිණි.
එම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ උගත් සමාජයක් බිහිකර, සියලු දෙනාට සමාන අවස්ථා ලබා දී සමාජ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ අරමුණ බවයි.
ගුරු භූමිකාවේ පෞරුෂත්වයත්, විශ්වාසයත්, පැවැත්මත්, තහවුරු වීමට නම් තාක්ෂණික යුගයේ ගුරුවරයාගේ දැනුම ද ඊට අනුසාරීව යාවත්කාලීන කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
ගුරු පත්වීම් ප‍්‍රදානය සංකේතවත් කරමින් දහ දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.එල් මුසම්මිල්, ඉසුරු දේවපි‍්‍රය, ගාමිණි තිලකසිරි, රංජිත් සෝමවංශ යන මහත්වරුන් ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී. විජයබන්දු මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.