ජනතාවගේ මෙතෙක් නොවිසඳුණ ගැටලුවලට විසඳුම් ලබාදීමේ හා සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරිමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති කාර්යාලය මෙහෙයවන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන ඉදිරි මාස 02 තුළ දිස්ත්‍රික්ක 04ක දී ක්‍රියාවට නැංවීමට නියමිත ය.


ඒ අනුව සැප්තැම්බර් 23-28 දක්වා බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ද, ඔක්තෝබර් 04-09 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ද, ඔක්තෝබර් 10-14 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී ද, ඔක්තෝබර් 16-21 දක්වා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ද වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
2019 පෙබරවාරි මාසයේ දී ජනාධිපතුමාගේ මඟපෙන්වීමෙන් පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරුණු අතර ගත වූ මාස 07 තුළ පුත්තලම, මඩකලපුව, අම්පාර, මුලතිව්, මොනරාගල, ගම්පහ, යාපනය යන දිස්ත්‍රික්කය 07 ක වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1200කට වැඩි මුදලක් වැය කර තිබේ.
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන පිළිබඳ පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.
ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය විසින් ජනතා සුබසෙත උදෙසා ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ, ජාතික ආහාර නිෂ්පාදන, ග්‍රාමශක්ති, ස්මාර්ට් ශ්‍රී ලංකා, දරුවන් සුරකිමු සහ ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ද වේගවත් කිරීම මේ මඟින් සිදු වේ.
දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දීර්ඝ කාලයක් මුහුණදුන් ගැටලු රැසකට විසඳුම් ලබාදීමට මෙන්ම, සංවර්ධන වැඩසටහන් රැසක් වේගවත් කිරීමට සහ නව සංවර්ධන ව්‍යාපෘති රැසක් අලුතින් ක්‍රියාත්මක කිරීමට රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන හරහා පසුගිය කාලය තුළ හැකියාව ලැබුණු බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා මෙහි දී පෙන්වා දුන්නේ ය.
දේශපාලන භේදයකින් තොර ව සියලු දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ සහය මෙම වැඩසටහනට හිමි වීම විශේෂත්වයක් වන අතර රටට සහ ජනතාවට වඩා යහපත් ප්‍රතිඵල උදාකර දෙන අන්දමින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධ කර ගනිමින් නිර්මාණශීලි අන්දමින් ඉදිරියට වැඩසටහන මෙහෙයවන ලෙස ජනාධිපතිතුමා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
එමෙන් ම ග්‍රාමීය ජනතාවට බලපාන කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබාදීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් විය.
ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේ දේශපාලන පසුබිම කුමනාකාරයෙන් වුව ද වාර්ෂික සංවර්ධන සැලසුම් සමග රජයේ නිලධාරින්ගෙන් ඉටුවිය යුතු වගකීම් නිසි ලෙස ඉටුවිය යුතු බව ය.
අමාත්‍යාංශ ලේකම්වරුන් ද, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.