ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට සමීප කරවීම අරමුණු කරගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් මාලාවේ තුන්වැනි ප්‍රදර්ශනය අද (07) උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ විය.


පුරාණයේ පටන් ලෝකයේ විවිධ රටවල් සමග වෙළඳ සබඳතා පවත්වාගෙන ගිය යාපනය ජනතාවගේ ජාන තුළම ව්‍යවසායකත්වය පවතින බවත් විසි එක්වන සියවසට ගැලපෙන නව ව්‍යවසායක පරපුරක් බිහි කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ බවත්, ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වයෙන් බල ගැන්වූ දියුණු රටක් බවට පත් කිරීමේ අරමුණින් ඉදිරියේදී මුළු දිවයින පුරාම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රදර්ශනභූමිය පුරා ඇති සෑම ප්‍රදර්ශන කුටියක්ම අමාත්‍යවරයාාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ප්‍රදර්ශනය අද(07) සවස 4.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.
ප්‍රදර්ශනය කලාප 9කින් සහ ප්‍රදර්ශන කුටි 450කින් සමන්විත ය. අද සිට ලබන 10 වන දා දක්වා පැවැත්වෙන අතර නව ව්‍යාපාර ඇරඹීමට මූල්‍ය පහසුකම් අපේක්ෂිත සහ නව ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන යාපනය දිස්ත්‍රික් ජනතාවට ඉදිරි දින කිහිපය තුළ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ තම ව්‍යවසායක අරමුණු සාර්ථක කර ගත හැකිය. ලංකා බැංකුව,මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු රැසක ජංගම කාර්යාල සහ නියෝජිත මහතුන් ප්‍රදර්ශන භූමියේ රැඳී සිටී.
මෙම ප්‍රදර්ශනය දිනපතා පෙ.ව 10 සිට රාත්‍රි 12.00 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත.