විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් හට බදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන බවට මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති

දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය, එහි අධ්‍යක්ෂ ජනරාල් තනතුර සහ නම ව්‍යාජ ලෙස භාවිත කර කූඨ ලෙස සකස් කරන ලද ලිපි සංක්‍රමණිකයන් වෙත යවන බවට මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා වී ඇත. තවද මෙම ලිපි මුහුණුපොත (Face book) සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ අනෙකුත් විවිධ මාධ්‍යයන් මගින් බෙදා හරිමින් සිදු කරනු ලබන වංචාවට නොරැවටෙන ලෙස මුදල් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් හට තීරුබදු සහන වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර නොමැති බව අවධාරණය කෙරේ. එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට කරනු ලබන සියළු ප්‍රචාරයන් මහජනතාව නොමඟ යවන සුළු හා ව්‍යාජ ඒවා බව දැනුම් දෙනු ලැබේ.
මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් මහජනයා වෙත සපයනු ලබන එවන් සේවාවන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ www.treasury.gov.lk නිල වෙබ් අඩවියේ විධිමත් පරිදි දැන්වීම් පළකරනු ලබන බැවින් තීරුබදු සහන වාහන පිළිබඳ සැබෑ තතු ඒ හරහා ලබාගත හැකිය.
තවද, තීරුබදු සහන බලපත්‍ර නිකුත් කිරීමට එම සේවාවන් සඳහා කවර ආකාරයක හෝ මුදල් අයකිරීමක් සිදු නොකරන බැවින් මේ වනවිටත් මුදල් ගරන වංචා කාරයන් වෙත ඔබ යම් මුදලක් ගෙවා ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා මෙන් මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ.