දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපතිතුමා පවසයි.


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව, කෝට්ටපිටිය සෑගල මහා විද්‍යාලයේ නව බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (23) එක්වෙමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂික ව වෙන්කළ මුදල තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉහළ නැංවූ බවයි. එමෙන් ම සියලු විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ද විශාල මුදලක් වැය කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ රටේ සමාජ, ආර්ථික ගැටලු රැසකට විසඳුම් තිබෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහි කිරීම මඟින් බවයි.
“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 73ක මුදලක් වැය කරමින් විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය සහිත පන්තිකාමර 4කින් යුත් මෙම බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.
විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක්විය.
මේ අතර ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරි ව රුපියල් ලක්ෂ 29ක වියදමින් නවීකරණය කෙරුණු ඇලහැර, කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඇතුළු බහුකාර්ය ගොඩනැඟිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
කලාපයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය, පුස්තකාල සඳහා පොත් ප්‍රදානය සහ අඩුආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස හිමිකම් ප්‍රදානය සංකේතවත් කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.
අනතුරුව ඇලහැර රදවිගෙඔය කනිෂ්ඨ විද්‍යාලයේ නවීකරණය කෙරුණු පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් විය. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 42ක වියදමින් පන්තිකාමර ගොඩනැඟිල්ල නවීකරණය කර තිබේ.
එමෙන් ම ඇලහැර, නිකපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් මිලියන 9.52ක වියදමින් ඉදිකෙරුණු පන්ති කාමර 08කින් යුත් නව ගොඩනැගිල්ල ද අද සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.
ඉන් අනතුරුව සෑගල විහාරස්ථානයේ දී පැවති රන්ගෙවිලිය වැඩසටහන සඳහා ද ජනාධිපතිතුමා එක් විය. කාබනික වගාව සඳහා ගෙවිලියන් දිරි ගැන්වීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර රුපියල් ලක්ෂ 44ක වියදමින් ඇලහැර කොට්ඨාසයේ ගෙවිලියන් 200ක් සඳහා නොමිලේ කෘෂි උපකරණ ලබාදීම සංකේතවත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.