ශ‍්‍රී ලංකා ප‍්‍රජාත‍්‍රාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 14 (අ) වගන්තිය මගින් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමේ අයිතිය පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකමක් බවට නීතිගත කර තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය ලොව පුරා ක‍්‍රියාත්මක වීමත් සමග යුනෙස්කෝ සංවිධානය විසින් 2015 නොවැම්බර් 17 වන දින සම්මත කරන ලද 38 C/70 යෝජනාව මගින් සෑම වසරකම සැප්තුම්බර් 28 වන දින තොරතුරු සඳහා විශ්ව පවේශය පිළබඳ ජාත්‍යන්තර දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, සැප්තුම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු අයිතිවාසිකම් දිනය වෙනුවෙන් සැප්තුම්බර් 15 දින සිට ඔක්තෝම්බරු 15 දින දක්වා කාලය තොරතුරු මාසයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු තොරතුරු පනතට අදාළ ක‍්‍රියාකාරකම් රැසක් මෙම තොරතුරු මාසය තුළ සෑම රාජ්‍ය ආයතනයක් විසින් ම ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම නීතියෙන් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පුරවැසියන් තම පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගිය පොදුජන යහපතට අදාළ වන තොරතුරු ඉල්ලීම් කෙරෙහි නැඹුරු විය යුතු බව අවධාරණය වී ඇත. ඒ සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වසර’ යන තේමාව යටතේ 2018 වර්ෂය තුළ විවිධ වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කරන ලද අතර, 2019 සැප්තුම්බර් 28 දිනට යෙදෙන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව දල රාජ්‍ය ආයතන විසින් පහත සඳහන් වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

1. තොරතුරු මාසය තුළ සියලූ රාජ්‍ය ආයතන විසින් තොරතුරු අයිතිය සම්බන්ධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.
2. දිවයින පුරා සියළුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදී සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
3. තොරතුරු මාසයට සමගාමීව ගමට තොරතුරු අයිතිය’ මැයෙන් RTI ජංගම සේවාවන් දිස්ත‍්‍රික්ක 5 ක් තෝරා ගනිමින් ක‍්‍රියාත්මක කිරීම.
4. තොරතුරු දැනගැනීමේ අයිතිය පොදු මහජන යහපත උදෙසා භාවිත කළ විශිෂ්ටයන් ඇගයීම සහ සම්මාන ප‍්‍රදානය කිරීම.
5. තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධව පුහුණු සංචිතයේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් දුෂ්කර ගම්මානවල ප‍්‍රජා මූල සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරිම.

එයට අමතරව තොරතුරු මාසයට සමගාමීව පොදු අධිකාරීන්වල පහත සදහන් වැඩසටහන් සංවිධානය කොට ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් සියළු ආයතන ප‍්‍රධානීන් දැනුවත් කර ඇත.

(අ) තොරතුරු මාසයේ පහසු දිනයක ආයතන ප‍්‍රධානි හෝ ඔහුගේ නියෝජිතයෙකු විසින් තොරතුරු සඳහා ප‍්‍රවේශවීම පුරවැසි මූලික අයිතිවාසිකමක් බව, තොරතුරු දැනගැනීමේ පනතේ වැදගත්කම, තොරතුරු ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, ප‍්‍රගාමීව තොරතුරු ප‍්‍රකාශයට පත්කිරීම හා පනත අනුව තොරතුරු ආරක්ෂා කර ගැනීමේ රෙගුලාසි සහ වගකීම් යනාදී කාරණා පිළිබඳව දැනුවත් කරමින් විනාඩි 20 ක පමණ කෙටි දේශනයක් පැවැත්වීම.

(ආ) ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් දිවයින පුරා සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා අමාත්‍යාංශයේ ඉල්පීම් පරිදී අවශ්‍ය සක‍්‍රීය සහයෝගය ලබා දීම.

(ඇ) තොරතුරු මාසය තුළ ආයතනය වෙත පැමිණෙන පුරවැසියන් දැනුවත් කිරීමේ ක‍්‍රමවේද හඳුනා ගනිමින් ක‍්‍රියාත්මක කිරීම.

(ඈ) ආයතනයේ තොරතුරු නිලධාරියා හා නම්කළ නිලධාරියාගේ විස්තර සඳහන් කරන ලද නාම පුවරු (පනතේ 26 (1) අනුව) ආයතන පරිශ‍්‍රයේ මහජනතාවට මනාව දර්ශනය වන ස්ථානයක ස්ථාපිත කීරීමටත්, ආයතනයේ සහ අනුබද්ධ ආයතනවල වෙබ් අඩවිවල ප‍්‍රගාමී තොරතුරු යාවත්කාලීනව ප‍්‍රකාශයට පත්කිරීමටත්, පනතේ 8 සහ 10 වන වගන්තීන්හී සඳහන් වාර්තා ආදිය ඉදිරිපත් කිරීමට පොදු අධිකාරිය සතු කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමටත් කටයුතු කිරීම.

Download Circular