විශ්වවිද්‍යාලවලින් පිට වන උපාධිධාරින් රැකියා ඉල්ලා මහපාරේ උද්ඝෝෂණය කරන ක්‍රමයක් රටේ ඇතිවී තිබෙන්නේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක්‍රමය නිසා බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.


එබැවින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවල අවශ්‍ය මූලික වෙනස්කම් සිදුකරමින් ලෝකයේ දියුණු රටවල නව අධ්‍යාපන ක්‍රම රටට හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම ඉතා අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඊයේ(25) පෙරවරුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරුණු “ශිල්ප සේනා” ප්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය අමතමිනි.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ශිල්ප සේනා ප්‍රදර්ශනයේ දෙවන අදියර දැනුම, නව නිපැයුම් සහ විනෝදාත්මක අංග රැසක් සමගින් අද සිට 29 වනදා දක්වා පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රිඩාංගණයේ දී පැවැත් වේ.
මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකය දියුණු වන්නේ පර්යේෂණ මඟින් ඇතිවන විද්‍යාවේ හා තාක්ෂණයේ නව නිපැයුම් සමඟ බවයි.
කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන් අපේ රටේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීම සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහාය වඩා තදින් දැනී ඇති මෙම යුගයේ ඒ පිළිබඳ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ප්‍රමුඛ අවධානයක් යොමු වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රවල ද බොහෝ පිරිසක් රට ගැන නොසිතා තමන් ගැන පමණක් සිතා කටයුතු කිරීම රටක් ලෙස සංවර්ධනය කරා යන ගමනේ දී ප්‍රබල අභියෝගයක් වී ඇති බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ නිදහස් අධ්‍යාපනය ලබන විද්වතුන් රට ගැන නොව තමන් ගැන පමණක් සිතා රට හැරයාම හේතුවෙන් ඉංජිනේරු, වෛද්‍ය සහ ගණකාධිකාරි සේවාවල රටට අවශ්‍ය විද්වතුන් ප්‍රමාණයවත් රටට අහිමිව තිබීම බලවත් ගැටලුවක්ව පවතින බවයි.
“සවිමත් දෑතින් පොහොසත් රටක්” තේමාව යටතේ පැවැත්වෙන ශිල්ප සේනා ප්‍රදර්ශනය මූලික වශයෙන් තාක්ෂණ කලාපය, ව්‍යවසායකත්ව හා රැකියා වෙළෙඳපොළ, නවෝත්පාදන කලාපය, නීලහරිත කලාපය සහ විනෝදාත්මක කලාපය ලෙස කලාප පහකට වෙන් කොට තිබේ.
තාක්ෂණ කලාපයේ දී STEM අධ්‍යාපනය, අභ්‍යාවකාශ තාක්ෂණය, ජීව තාක්ෂණය, රොබෝ තාක්ෂණය සහ නැනො තාක්ෂණය, ස්නායු තාක්ෂණය, කෘතිම බුද්ධිය, මෙකාට්‍රොනික්ස්, නව බලශක්ති, නීල හරිත තාක්ෂණය 5G IOT ප්‍රධාන තේමාවන් දොළහක් යටතේ නවීන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ විෂය දැනුම සම්ප්‍රේෂණය කිරීම සිදු කෙරේ.
ශිල්ප සේනා ප්‍රදර්ශනයේ නවෝත්පාදන කලාපයේ මෙරට නිර්මාණ ශිල්පීන් බිහිකළ නව නිපැයුම් 250කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරන අතර, එම නිර්මාණ වාණිජකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටිගේ මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.