2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඊයේ (26) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.


එම කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි හා තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරය විය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරු කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.
ජනාධිපතිතුමා විසින් 2019 ජනවාරි 17 වනදා මෙම කොමිසම පත් කරන ලදී.