වසර 2015න් පසු විදේශ ණය ආධාර මත එක්සත් ජනපද ඩොලර් මිලියන 3680ක වැඩි මුදලක් වැය කොට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 24ක් ක්‍රියාත්මක කොට ඇතැයි මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි.


ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මිත්‍රශීලී රටවල් විදේශීය මූල්‍ය ආයතන ද්විපාර්ශ්වික ණය ආධාර ලෙස මේසා විශාල මුදලක් මෙරටට ලබාදී ඇතැයි ද මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සඳහන් කෙළේය.
බෙලිඅත්ත සිට වීරකැටිය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපද ඩොලර් මිලියන 360.3ක මුදලක් චීනයේ එක්සීම් (Exim Bank of China) බැංකුව ලබාදී තිබේ.
එක්සත් ජනපද ඩොලර් මිලියන 318ක් ඉන්දියාවේ එක්සිම් බැංකුවේ මූල්‍ය ආධාර යටතේ ලබාගෙන මෙරට දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීමට ආරම්භ කළ බවද සමරතුංග මහතා කීය.
ජපාන අන්තර්ජාතික සහයෝගිතාව පිළිබඳ නියෝජිතායතනයෙන් (JICA) ඩොලර් මිලියන 279.1ක් ලබාගෙන කළුගඟ ජලසම්පාදන ව්‍යාපෘතිය පුළුල් කිරීමේ පළමු අදියර ආරම්භ කොට තිබේ. මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 250 මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරටට ලබාගෙන ඇත.
ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඉන්දියාව චීන රජය ඇතුළු මෙරටට මිත්‍රශීලී රටවල් හා විදේශ මූල්‍ය ආයතන මඟින් ගත වූ වසර හතරක කාලය පුරාවට මේසා විශාල මුදලක් ලබාගෙන ‍රටට ජනතාවට වාසි අත්වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 24ක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.