වත්මන් ලෝකය මුහුණ පා සිටින ආර්ථික,සමාජමය,පාරිසරික,අර්බුදයන්හි ප්‍රතිඵලයක් ලෙස නයිට්‍රජන් වායුව ක්ෂය වීම සහ දූෂණය වීම තුළින් මානව සංහතියේ අනාගතයට මහත් විපතක් සිදු වී ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.


කතානායක කරූ ජයසූරිය මහතා ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සිව් වන වරටත් සංවිධානය කරන ''ශ්‍රී ලංකා නෙක්ස්ට් - නීල හරිත යුගයක් '' ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය අද (23) උදෑසන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.
ජීවයේ පැවැත්මට මෙන්ම මිනිස් සංස්කෘතියේ පැවැත්මට නයිට්‍රජන් වල බලපෑම විශාල බවත් ලෝකයේ ඒ වෙනුවෙන් කැප වන විද්‍යාඥයින් වෙත ගෞරවය හිමි වන බවත් මෙම අවස්ථාවට එක් වූ කතානායක කරූ ජයසූරිය මහතා කීය.
තිරසර නයිට්‍රජන් කළමනාකරණ පිළිබඳ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් සැකසූ කෘති එකතුවක් කතානායක කරූ ජයසූරිය මහතාට භාර දීමද මෙහිදී සිදු වූ අතර සමුළුවට සමගාමීව නයි‍ට්‍රො නවෝත්පාදන ප්‍රදර්ශනය, සොබා වන සිතුවම් කෙටි චිත්‍රපටි තරඟාවලියේ සම්මාන ප්‍රදාන උත්සවයක්ද පවත්වන ලදී.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජය විධායක අධ්‍යක්ෂ ජොයිෂ් මිෂුවා, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක,දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අචාර්ය සුනිමල් ජයතුංග ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.