ජපානයේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා මහතා අතර හමුවක් 22 ටෝකියෝ නුවර දී පැවැත්විණි.


ජපාන නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ලද ආරාධනය පරිදි ජනාධිපතිතුමා ටෝකියෝ නුවරට ගොස් සිටින අතර ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා, ශ්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපති කෙනචි සුගනුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත විය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින නොබිඳෙන සහ සමීප සබඳතාවය පිළිබඳව මෙහිදී කරුණු සිහිපත් කෙරුණු අතර දෙරට අතර මිතුදම ශක්තිමක් කර ගැනීමට සහ සබඳතා ඉහළ නංවා ගැනීමට ජනාධිපතිතුමා සිය ධූර කාලය තුළ දී ඉටුකරන ලද මෙහෙවර ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දැඩි පැසසුමට ලක් විය.
ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගත්ත ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් රටට අවශ්‍ය බව ද හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා රටේ සමාජයීය දියුණුව වෙනුවෙන් ගෙන ගිය නව වැඩසටහන් අගය කළ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය පාස්කු ඛේදවාචකයෙන් පසු රට තුළ මතු වූ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ගත් පියවර ද අගය කළේය.
ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ලැබුව ද ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමේ වැඩසටහන් සඳහා අඛණ්ඩව කැපවී කටයුතු කරන බවයි.
ත්‍රස්තවාදය මැඩැලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
තම ධූර කාලය තුළ දී ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථික අභිලාෂයන් ඉටුකර ගැනීමට ජපාන රජය තමා වෙත ලබාදුන් විශේෂ සහයෝගයට ද ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සුහද මිතුරෙකු ලෙස ජපානයේ සහයෝගය අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.