“මදුරුවන් බෝ නොවන ආහාර බඳුන්” නිර්මාණය කරමින් කොරියාවේ ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් තරඟයේ දී හොඳම නව නිපැයුම්කරුවන් දහ දෙනා අතරට තේරි පත් වූ ගොකරැල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිදු මිහිරාන් සිසුවා නොවැම්බර් 05 ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.


නිර්මාණශිලිත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් ගෝලීය නායකත්වය පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර යෞවන ඔලිම්පියාඩ් තරඟය පසුගිය ඔක්තෝබර් 05 සහ 06 දිනවල කොරියාවේ සෝල් නුවර දී පැවත්වුණු අතර රටවල් 37 ක් නියෝජනය කරමින් නිර්මාණකරුවන් 400කට අධික පිරිසක් ඊට සහභාගී වී සිටියහ.
එහිදී හොඳම නව නිපැයුම්කරුවන් දහ දෙනා අතරට තේරි පත්වෙමින් විශේෂ සම්මානයක් සහිත රන් පදක්කමක් දිනාගැනීමට පසිදු මිහිරාන් සිසුවා සමත් වූ අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව පරිගණකයක් ප්‍රදානය කිරීමට ද කටයුතු කළේය.