වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය හා ඕස්ටේ‍්‍රලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය(ANSTO) අතර ශ‍්‍රී ලංකාවේ පැතිර පවතින මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය අධ්‍යයනය කිරීම පිළිබඳ සහයෝගිතා වැඩසටහන සම්බන්ධයෙන් ඇතිකරගත් අවබෝධතා ගිවිසුම තවත් වසර දෙකකින් දීර්ඝ කෙරේ.


දීර්ඝ කරන ලද අවබෝධතා ගිවිසුමට අදාළ ලියකියවිලි ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් David Holly මහතා විසින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
අවබෝධතා ගිවිසුමේ ප‍්‍රගතිය සහ ඉදිරි පියවරයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2017 වසරේ ඕස්ටේ‍්‍රලියාවේ කරන ලද නිල සංචාරයක දී ජනාධිපතිතුමා සහ එවකට ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟ වූ පරිදි වකුගඩු රෝග නිවාරණය සඳහා ඕස්ටේ‍්‍රලියානු රජයේ තාක්ෂණික සහය ලබා ගැනීමේ අවබෝධතා ගිවිසුමට 2017 මැයි 25 වන දින අත්සන් තැබුණු අතර එහි නිල කාලය 2019 මැයි 25 වන දිනෙන් අවසන් විය.
රජ රට ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ජන ජීවිතය පීඩාවට පත් කරමින් ව්‍යාප්තව තිබෙන වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට රට තුළ කි‍්‍රයාත්මක අතර එම රෝගය පිළිබඳ අධ්‍යයනය කරමින් එය පැතිරයාම වැලැක්වීම උදෙසා තාක්ෂණික සහාය ලබාදීමේ පර්යේෂණ කටයුතු මේ වන විට ඕස්ටේ‍්‍රලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ දියත් කර තිබේ.
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.