2019 දෙසැම්බර් 12 වැනි දින පැවැත්වීමට නියමිත එක්සත් රාජධානියේ මහ මැතිවරණයට පෙරාතුව, කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කර තිබූ කරුණු සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 3 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයන් කෙරෙහි විදේශ සබඳතා අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.


මේ සම්බන්ධව, ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් වන කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 53 වන පිටුවේ ඡේදයක පහත පරිදි සඳහන් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
“ලොව පුරා සංහිඳියාව, ස්ථායීතාව සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර කටයුතුවලට අප අඛණ්ඩව සහාය ලබා දෙන අතර, සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග වැනි මීට පෙර ගැටුම් පැවති කලාපවල දී අපි ද්විත්ව-රාජ්‍ය විසඳුමක් සඳහා අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන්නෙමු.”
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, විදේශ සබඳතා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු ශ්‍රී ලංකාව පිළිබඳ විකෘති කරන ලද කරුණු සම්බන්ධයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ සම සභාපති ගරු ජේම්ස් ක්ලෙවර්ලි මහතා වෙත ඊට එරෙහිව ප්‍රබල ලෙස කරුණු දැක්වීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වහාම පියවර ගන්නා ලදී. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය විසින් කොන්සර්වේටිව් පක්ෂයේ සම සභාපතිවරයා වෙත යැවූ 2019 නොවැම්බර් 27 වැනි දිනැති ලිපිය මගින් මේ බව දැනුම් දෙන ලදී.
ද්විත්ව-රාජ්‍ය විසඳුමක් අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන් කිරීම පිළිගත නොහැකි බවත්, එක්සත් රාජධානියේ කිසිදු පක්ෂයක ස්ථාවරය එය නොවන බවත් මහ කොමසාරිස්වරිය අවධාරණය කළාය. සියලු පක්ෂවල නායකත්වය යටතේ අනුයාත ලෙස පත්වූ බ්‍රිතාන්‍ය ආණ්ඩු සැමවිටම එක්සත් ශ්‍රී ලංකාවක සාමය හා සංහිඳියාව සඳහා සහය ලබා දී ඇති බව ඇය යලි අවධාරණය කළාය. එබැවින් ශ්‍රී ලංකාව පිළිබඳ කොන්සර්වේටිව් පක්ෂ ස්ථාවරය නිවැරදිව පිළිබිඹු වන පරිදි එම ඡේදය සුදුසු පරිදි සංශෝධනය කරන ලෙස මහ කොමසාරිස්වරිය ඉල්ලා සිටියාය. අධ්‍යයනය කිරීම සඳහා එම ලිපියේ පිටපතක් මෙහි අමුණා ඇත (ඇමුණුම I)
මහ කොමසාරිස්වරියගේ ඉහත කරුණු ඉදිරිපත් කිරීම තුළින් මෙන්ම, කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් වෙත සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව, කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලි මහතා සිය 2019 නොවැම්බර් 27 දිනැති ඊමේල් පණිවුඩය මගින් මෙම කරුණ පිළිබඳව පහත සඳහන් පැහැදිලි කිරීම නිකුත් කළේය:
“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම පක්ෂයේ ස්ථාවරය වෙනස් වී නොමැත ... පැහැදිලිවම කිවහොත්, මෙම කොටසෙහි ද්විත්ව-රාජ්‍ය පිළිබඳ පෙළෙන් (ප්‍රකාශිත ප්‍රතිපත්තියට අනුව) අදහස් කෙරෙනුයේ මැදපෙරදිග ඊශ්‍රායල-පලස්තීන ප්‍රදේශයේ පවතින තත්වය පිළිබඳව පමණකි. ශ්‍රී ලංකාව හා සයිප්‍රසය සඳහා වූ ඇපකැපවීම් සිදුකරනු ලබන්නේ, හුදෙක් බෙදී වෙන් වූ සමාජවල සාමය හා සංහිඳියාවට සහය දැක්වීම සඳහා දැනට යොදනු ලබන ප්‍රයත්න අඛණ්ඩව පවත්වා ගැනීම සඳහාය.”
එක්සත් රාජධානියේ පරිසර, ආහාර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ගරු තෙරේසා විලියර්ස් මැතිනිය විසින් ද සමාජ මාධ්‍ය (ෆේස්බුක්) හි සිය නොවැම්බර් 30 වැනි දිනැති ප්‍රසිද්ධ සටහන හරහා ඉහත ස්ථාවරය යලි අවධාරණය කොට ඇති අතර, තවදුරටත් පහත සඳහන් කරුණු ද එහි සඳහන් කොට ඇත.
“ද්විත්ව-රාජ්‍ය විසඳුමක් ගැන පසුව සඳහන් වන්නේ මැද පෙරදිගට අදාළව වන අතර, සයිප්‍රසයට හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නොවේ. මා විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතාගෙන් මේ පිළිබඳව විමසා ඇති අතර, ඔහු මේ බව තහවුරු කර තිබේ.”
කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලි මහතා සිය 2019 දෙසැම්බර් 3 වැනි දිනැති ට්විටර් පණිවුඩයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ ඉහත ස්ථාවරය යළිත් වරක් අවධාරණය කරමින් මෙසේ සඳහන් කර ඇත:
“ශ්‍රී ලංකාවේ පාලනයේ සැකැස්මට අදාළ වන කටයුතු කිසිවක් පිළිබඳව කොන්සර්වේටිව් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා නොමැත… රාජ්‍ය දෙකක් අදාළ වන්නේ මැද පෙරදිගට පමණි.”
ඉහත කරුණු මගින් මෙම ගැටලුව සම්බන්ධයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ ස්ථාවරය මෙන්ම විකෘති කර සිදුකළ පළකිරීම නිවැරදි කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ද පිළිබඳව පැහැදිලි වනු ඇතැයි යන්න විදේශ සබඳතා අමාත්‍යාංශයේ හැඟීමයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2019 දෙසැම්බර් 04 වැනි දින