ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන 2018 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන රාත්‍රිය දෙසැම්බර් 10 අඟහරුවාදා ගල්කිස්ස මහා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.


20 වැනි වරටත් පැවැත්වෙන මේ සම්මාන උළෙල සඳහා මෙවර සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනට අයත් දිනපතා සහ සතිපතා පුවත්පත් 37කින් අංශ 17ක් යටතේ අයදුම්පත් 313ක් ඉදිරිපත්ව ඇත. පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කරන හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවිය උදෙසා ද මෙවර සම්මාන පිරිනැමෙන බව 2018 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වැඩසටහනේ කැඳවුම්කරු සුකුමාර් රොක්වුඩ් මහතා ප්‍රකාශ කළේය.
1999 වසරේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදය මේ සම්මාන වැඩසටහන ආරම්භ කළ අතර එය මේ වනවිට කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව පවත්වාගෙන යයි. මෙය මෙරට විශාලතම ජනමාධ්‍ය සම්මාන උළෙල වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයට ගනිමින් ලියන ලද ප්‍රවෘත්ති සහ ලිපි සඳහා ද මෙවර ප්‍රථම වරට සම්මාන පිරිනැමේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යය තුන සඳහාම එම සම්මාන පිරිනැමේ.
මේ වැඩසටහනේ අරමුණු වන්නේ ශ්‍රී ලාංකික මුද්‍රිත මාධ්‍යයේ වෘත්තියභාවයට පිළිගැනීමක් ලබා දීම සහ අදාළ වර්ෂයේ විශිෂ්ටයන් උදෙසා ත්‍යාග ප්‍රදානය කිරීමය. ජනමාධ්‍ය වෘත්තියේ වසර 40කට අධික කාලයක් නියැලෙමින් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනකුට ඒ අයගේ සේවාව අගයමින් දීර්ඝ සේවා උපහාරසම්මානයෙන් පුදනු ලබන බව රොක්වුඩ් මහතා ප්‍රකාශ කළේය.
ජීවිත කාලය පුරා කරන ලද මෙහෙවර උදෙසා මෙවර දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලබන්නේ , ඩඩ්ලි ජෑන්ස්, තිලකරත්න කුරුවිටබණ්ඩාර, ඒ. එල්. කේ. පෙරේරා, කේ. එම්. එල්. බී. සේනාරත්න සහ ගෝපාලපිල්ලෙයි තිරුකේසරත්නන් මහතාය.
මේ උළෙලේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදය සිය සගයන්ගේත් ජනතාවගේත් ඇගයීමට ලක්වීම වෙනුවෙන් පිදෙන ඩී. ආර්. විජයවර්ධන සම්මානය ද ශ්‍රී ලාංකීය මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් පිදෙන සේපාල ගුණසේන සම්මානය ද පිරිනැමෙනු ඇත.