දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් සම්බන්ධව ඉදිරි සති 06ක කාල සීමාව තුළදී විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වහාම පත් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා සඳහන් කළේය.

අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කරේ අද (06) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ යටතේ සිය නිල රාජකාරි ඉටුකිරීමේදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් සිදුකරනු ලබන කටයුතුවලට අදාළව ඔවුනට නිසි ආරක්ෂාව සැලසෙන නව නීතියක් කෙටුම්පත් කිරීම හා එය අධීක්ෂණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත්කරන ලෙස නීතිපතිවරයා වෙතින් ඉල්ලීමක් කිරීමටද නියමිත බව ගරු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර සුළු අපනයන භෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ හා දිරිමත් කිරීමේ අරමුණින් භාණ්ඩ කිහිපයක් ආනයනය සීමා කිරීමටද රජය තීරණය කර ඇති බව  ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ, කරාබු නැටි සහ උදු ආනයනය පාලනය  කර ඇති අතර මුදල් පනතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝග අනුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන හා සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් සිදු කෙරෙන කුළුබඩු ආනයනය පාලනය වන බවත්  දිස්ත්‍රික්ක 9ක පමණ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මින් ප්‍රතිලාභ හිමි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.