මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ලෙස අද (12) රාජකාරි ආරම්භ කළේ ය.

ඊයේ (11) නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයට පැවරී ඇති කාර්යභාරයන් රැසක් ඇති බවත්, කැබිනට් අමාත්‍යවරයාගේ සහ ලේකම් වරයාගේ මඟ පෙන්වීම තම කාර්යයන් සාර්ථක කර ගැනීමට ලැබෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකුලව නිදහස් හා සාධාරණ මාධ්‍ය නිදහසක් ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීම සඳහා ද දායක වී ඇති  ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතෙකු වන මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයෙකු වශයෙන්ද, සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයකු වශයෙන් ද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ වශයෙන්ද මිට පෙර රාජකාරි කටයුතු සිදු කර ඇත.

රාජකාරි භාර ගැනීමේ මෙම අවස්ථාව සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ ගරු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා, අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් සහ උසස් නිලධාරීන් මෙන්ම නව ලේකම්වරයා වෙත සුබපැතීම සඳහා ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.