මාධ්‍ය අධ්‍යයනය සඳහා වන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා සහතික ප්රදානය කළ හැකි විශ්වවිද්‍යාල විද්‍යායතනයක් (University College) එළඹෙන දින 100 තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (18) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති පුවත්පත් මණ්ඩලය විසින් වාර්ෂිකව පිරිනමන ‘මාධ්‍ය අධ්‍යයනය සහ පුවත්පත්කලාවේදය’ ඩිප්ලෝමා සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය. අපේ රටේ දීර්ඝ කාලීන ඉතිහාසයක් තිබෙන මාධ්‍ය කලාවට වාර්ෂිකව විශාල තරුණ පිරිසක් නියැළී ඉන්නවා සහ වැළඳ ගන්නවා. වෘත්තිකයන් ලෙස ඇතුළත් වෙනවා. එසේ ඇතුළත් වන මාධ්‍යවේදීන්ට අතීතයේ සිටි මාධ්‍යවේදීන් හා සසදන විට අගය අඩුවීමකට ලක්වෙලා තියෙනවා කියන එකයි මගේ පුද්ගලික හැඟීම. මහා ප්‍රාඥයන් සිටි මේ මාධ්‍ය ක්ෂේත්රවල බුද්ධිමතුන් රඳවා ගැනීමට අපි සමත් වුණේ නැහැ. ඒ නිසා එවැනි උසස් තලයකට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ආයතන ගෙන ඒම සඳහා ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ දැනුමක්, අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයක් ඉතාම වැදගත්. ඒ නිසාම පුවත්පත් මණ්ඩලයේ බුද්ධිමතුන්ගේ දායකත්වය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ දායකත්වය ද ලබා ගෙන වෘත්තීයවේදීන්ගේ සහාය ද සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සංවර්ධන වැඩපිළිවෙළට අනුව මාධ්‍ය අධ්‍යයනය සඳහා විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ඇති කරන්න කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා.
ලෝකයේ අනෙක් රටවල වගේම එම විශ්වවිද්‍යාල විද්‍යායතනවලට ඇතුළත් වෙන්නට ඉසෙඩ් අගය අදාළ වෙන්නේ නැහැ. එහි ප්‍රධාන අවශ්‍යතාව උපාධියක් ලබාදීම නොව ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ලබාදීමයි. විභාගය සමත් ජීවිතය අසමත් තාරුණ්‍යයට නිසි තැන් සකසමින් මානව සම්පත් සංවර්ධන ඉලක්කයට යන්නට අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහයෝගය ද විශ්වවිද්‍යාල සහ වෘත්තීයවේදීන්ගේ සහාය ද නැවත වතාවක් බලාපොරොත්තු වෙනවා. යනුවෙන් ද පැවසීය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ බන්දුල වෙල්ලාල, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් ද එක් වූහ.