තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව වසරේ රාජකාරි ආරම්භ කිරීම ඊයේ (01) දින පෙරවරුවේ එම පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.

සියලු නිලධාරීන් ආමන්ත්‍රණය කරමින් රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් මහජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදීමට හැක්කේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මෙහිදී හරවත් දේශනයක් පැවැත්වීය.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙස අමාත්‍යංශ ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා විශේෂයෙන්ම, රේගු අධ්‍යක්ෂ ජනරාල් හා ආගමන විගමන පාලක ජනරාල් ලෙස කටයුතු කරන සමයේදී එම ආයතනවල කාර්යක්ෂම බව ප්‍රවර්ධනය කිරීමෙහිලා ගත් යහපත් වෙනස්කම් ද ගෙනහැර දැක්වීය.
තමන් නියැළෙන කාර්යයට නිසි අවධානය ලබාදෙමින් සුහදශීලීව, විශ්වාසයෙන් යුතුව, හැකියාවෙන් සන්නද්ධ වී, සතුටින්, නම්‍යශීලීව හා මානුෂීය ගුණාංග ද කැටිකර ගනිමින් රාජ්‍ය නිලධාරියෙකු කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ඔහු අවධාරණය කළේය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු කරන සමයේදී තමන්ට මුහුණදීමට සිදුවූ අතිශය සංවේදී අත්දැකීම් ද මෙහිදී බෙදාහදාගත් අතර මෙවැනි අවස්ථාවකදී මනුෂ්‍යත්වයේ උතුම් ගුණාංග ඉස්මතු කරමින් කටයුතු කළයුත්තේ කෙසේද යන්න පෙන්වාදුන්නේය. තාක්ෂණික ඥාණය, නිවැරදි තොරතුරු මෙන්ම සිය හැකියාවන් ද රාජ්‍ය නිලධාරියෙකු විසින් ඔප්නංවා ගතයුතු ගුණාංග වන බවත්, වෙනසක් ඇතිවන තෙක් බලා නොසිට, තමන් වෙනස් විය යුතු බවත් ලේකම්වරයා එහිදී පැවසුවේය.
මේ අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය සහ අතිරේක ලේකම් එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර මහතා ඇතුළු අමාත්‍යංශ මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්විය.

 MG 0010 1

 MG 0099

 

 MG 0104 

 MG 0112