පසුගිය රජය විසින් ගෙන ගිය ඇතැම් අහිතකර තීන්දු තීරණ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔත්පල වූ බවත් එසේ ඔත්පලවූ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජයට ඉතා විශාල වගකීමක් දැරීමට සිදුවී ඇති බවත් ඒ සඳහා රජයේ නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2020 වර්ෂය සඳහා රාජකාරි ඇරඹීමෙන් අනතුරුව පැවති උත්සවයක් අමතමිණි.

2020 වර්ෂය ඉතිහාසගත වර්ෂයක් බවට පත්කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බව ද වර්තමාන භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විසින් සියලු අනවශ්‍ය වියදම් කපා හැර සම්පත් වඩාත් පළදායී ලෙස යොදා ගනිමින් සංවර්ධනය කරා ගමන් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන් දුන්නේය. රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බවත් රාජ්‍ය සේවකයින් විසින් යම් අක්‍රමිකතා සිදු ක‍ලහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරින් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කියා සිටියේය.

“අද වවමු පැළයක්- හෙට නෙළමු ඵලයක්” යන තේමාව යටතේ 2020 අප්‍රේල් මස දිවයින පුරා රුක් රෝපණ වැඩසටහක් ආරම්භ කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය ආයතන දායක විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට රජයේ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනයාමේ දී සුවිශේෂී වගකීමෙක් පැවරෙන බව පෙන්වාදුන් අමාත්‍යවරයා මාධ්‍යයේ උනන්තිය සඳහා රජය ක්‍රියාකරන බවත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වයන් සඳහා විධිමත් ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා හැදෑරීම සඳහා අවශ්‍ය ආයතන පිහිටුවන බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා, අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මිය සහ අතිරේක ලේකම් එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, ඇතුළු අමාත්‍යංශ මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්විය.