ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ අනුබද්ධ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ලෙස උසස් කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

උසස් පෙළ සමත් වන සෑම සිසුවකුටම සෞභාග්‍යයේ දැක්ම අනුව උපාධියක් හෝ රැකියාභිමුඛ පාඨමාලාවක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරදීමේ අරමුණෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් විශ්වවිද්‍යාල විද්‍යායතන 300 ක් ස්ථාපිත කිරීම රජයේ අරමුණයැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ අවසන් අදියර සමත් සිසුන්ගේ සම්මාන සහතික ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (07) පෙරවරුවේ පැවැති මේ උත්සවයේ දී ගුණවර්ධන මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. අද වනවිට AAT ආයතනය ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නොයෙක් හැඩතල වෙනස් වෙමින් පවතින කාලයක් උදා වෙලා තිබෙනවා. අපි විවිධ වෙනස්කම් කරද්දි වෙනස්කම් සඳහා සංවේදී නොවන වෙනස්කම්වලට උපතින්ම එරෙහි වන කොටසක් සිටිනවා. මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දෙන විට විවිධ ලෙස බාධා එල්ල වුණා. නමුත් ඒවාට නොසැලී අපි ඒ ක්ෂේත්‍රය අධ්‍යාපනයට විතරක් නොවෙයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා හඳුන්වා දුන්නා. දැන් සාම්ප්‍රදායික කලා, වාණිජ්‍ය, විද්‍යා ගණිත පමණක් නොව තාක්ෂණ විෂය ක්ෂේත්‍රය ද තිබෙනවා. එයින් අද වන විට වඩාත්ම ඉල්ලුමක් තිබෙන අංශය බවට තාක්ෂණ අංශය පත්වෙලා.

මෙතෙක් තිබුණු අධ්‍යාපනයෙන් මෙන්ම උසස් අධ්‍යාපනයෙනුත් පසුව ජීවන වෘත්තියක් හෝ ජීවිතය සාර්ථක කර ගැනීම සම්බන්ධ ස්ථිරසාර විසඳුමක් තිබුණු බවක් පේන්න නැහැ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් මවුපියන් කොයිතරම් ස්ථිර රැකියාවක් හෝ ස්ථිර ජීවනෝපායක් නොමැතිව අසරණව සිටිනවා ද? එය මේ දරුවන්ටත් වෙන්නට ඉඩ නොදිය යුතුයි. ඒ නිසාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය අනුව මානව සම්පත සංවර්ධනය සඳහා උසස් පෙළ සමත්වන සියලුම දරුවන්ට උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබිය හැකි, වෘත්තියභිමුඛ පාඨමාලාවලින් ජීවිතය ජය ගන්නට අවශ්‍ය පසුබිම සකසා දීමේ වගකීම පැවරිලා තිබෙන්නේ මටයි.

ඒ වගකීම ඉටු කරන්න මේ වනවිට අපි කටයුතු කරගෙන යනවා. මහපොළොවේ හඬට කන්දීලා මහපොළොවේ අවශ්‍යතාව අපි ඉටු කළ යුතුයි. රට වෙනුවෙන් සහ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඒ දෙය කරන්න කටයුතු කරන්න අපිට ලැබී තිබෙන අවසන් අවස්ථාව මේක. රට සෞභාග්‍ය කරා ගෙනයන ජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම අනුව සෑම උසස් පෙළ සමතකුටම උපාධියක් සහ රැකියාභිමුඛ පාඨමාලාවක් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් රට පුරාම ඇති කරනවා. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් රටපුරා ඉදි කරනවා. ඒ අනුව වසර 05ක් තුළ උසස් පෙළ සමත් සෑම දරුවකුටම උපාධි සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා යනුවෙන් ද පැවසීය.