මවුපියන් තමන්ගේ ඉලක්ක කරා දරුවන් ගෙන යෑමට උත්සහ කිරීමෙන් අද දරුවන්ගෙන් විශාල සංඛ්‍යාවකට මානසික රෝග තත්ත්වයන් ඇති වී ඇතැයි තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
බාහිර විෂයන්ගේ ඈත් කර පොත පතට විතරක්ම යෙදවීමෙන් දරුවන්ගේ ළමා කාලය විනාශ නොකරන්නැයි තමන් දෙමවුපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව හෙතෙම කීවේය.
කොතරම් උගත් වුණත්, බුද්ධිමත් වුණත් ඇතැම් පිරිස් තුළ සදාචාරසම්පන්න සිතුම් පැතුම් නැති බවත් එවැනි පුද්ගලයන්ගේ උගත් හා බුද්ධිමත්කමෙන් කිසි වෙකුට පලක් නොවන බවත් ගාල් මහින්ද විද්‍යාලයේ පළමු වසර සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
තමන්ට දේශපාලඥයකු ලෙස පැමිණි සෑම අභියෝගයකටම මුහුණ දුන්නේ මහින්ද විද්‍යාලයෙන් ලැබූ පන්නරය නිසා බව පැවැසු ඒ මහතා මෙහි පළමු වසරට ඇතුළත් වුණ දරුවන්ටද කවදක හරි එම අභියෝගය ජයගත හැකි බව කීවේය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.
අද මට ඉතා වාසනාවන්ත දවසක් ඒ මම ඉගෙන ගත්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට පළමු වසරට දරුවන් ඇතුළත් කරගැනීමේ උත්සවයට සහභාගි වෙන්න ලැබීම නිසා. දරුවෙක් පිළිසිද ගත්ත දවසේ ඉදලා විශාල බලාපොරොත්තු ගොන්නක් ඇති වෙනවා. මුලින්ම බලනවා ඒ ඉපදෙන දරුවා පිරිමි දරුවෙක්ද, ගැහැනු දරුවෙක්ද කියළා. දැන්නම් ස්කෑන් කරලා ඒ දේ බලාගත හැකියි. පිරිමි දරුවෙක් නම් තම දරුවා දාගන්න පිරිමි පාසල මොකක්ද කියලා හිතනවා. ගැහැනු දරුවෙක් නම් ඒ ගැහැනු දරුවා දාගන්න ගැහැනු පාසල මොකක් ද කියලා හොයනවා. ඒ තරම්ම පාසලට දා ගැනීමේ තරගකාරිත්වයක් ඇති වී තිබෙනවා.
මහින්ද විද්‍යාලය කියන්නේ වාසනාවත්න පාසලක්. මෙය පිං බිමක්. මෙම විද්‍යාලයට පය ගහපු කිසිම කෙනෙකුට වැරදිලා නැහැ. මට එක වසරට එන්න වාසනා තිබුණේ නැහැ. මම ආවේ ජනප්‍රිය පාසල් විභාගයෙන්. ඒ කාගේ ශිෂ්‍යත්ව විභාග තිබුණේ නැහැ. ජනප්‍රිය පාසල් විභාගය ලියලා මම ඉල්ලුවේ මහින්ද විද්‍යාලය. ඒකටත් හේතුවක් තිබුණා. මගේ තාත්තගේ හොඳම යාළුවා සිරිසේන හෙට්ටිගේ මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමගේ තමයි ක්‍රිකට් වලින් ලකුණු 155 ග්‍රව්න්ඩ් වාර්තාව තිබුණේ. දක්ෂ ක්‍රීඩකයෙක්. එතුමාගේ වාර්තාව අවුරුදු ගානක් තිබුණා. අවුරුදු හතලිහකට වඩා ඒ වාර්තාව තිබුණා. එය රිච්මන්ඩ් විද්‍යලයෙන් කැඩුවා. හැබැයි ඊළග දිනය වෙන කොට නැවත අපේ විද්‍යාලයෙන් එම වාර්තාව බිඳ දැමුවා. ඒ නිසා මෙම පිං බිමට පා තබපු ඔබේ දරුවා වාසනාවන්තයි. මෙහි අධ්‍යාපනය හදාරන දරුවට පළමු පංතියේ ඉදන් දහ තුන වසර දක්වා ඉගෙන ගත හැකියි. වෙනත් පාසල් හෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ පිං බිමේ අධ්‍යාපනය හදාරපු බොහෝ දෙනෙකුට හොඳ ඉතිහාසයක් තිබෙනවා. අද ජාතික ගීය කියන කොට හැමෝම නැගිටිනවා. ආචාර කරනවා. ආනන්ද සමරකොන් ශූරීන් ඒ ජාතික ගීය හැදුවේ මේ කාමරයක් ඇතුළේ ඉදගෙන.
මේ විද්‍යාලය සෑම අංශයකින්ම පළවැනිය වුණු අවස්ථා තිබුණා. අධ්‍යාපන, ක්‍රීඩා, සෞන්දර්ය, වාද විවාද වලින්, සාහිත්‍ය සංගමයෙන් සුවිශේෂී ජයග්‍රහණ අත්කර ගෙන තිබෙනවා. ඒ මගේ ගුරුදේව, විදුහල්පති ගුණසේකරමහතාගේ කාලයේ. මම ප්‍රාර්ථනා කරනවා ගාමිණි ජයවර්ධන විදුහපල්පතිවරයටත් ඒ යුගය ඇති කරන්න වාසානාව ලැබෙන්න කියළා. අදත් මොන තරම් විද්‍යාල තිබුණත්, ශිෂ්‍යයන් හිටියත් විෂයන් තුනට ලකුණු 396 ක වාර්තාව බිඳ දමන්න කිසිවෙක් සමත් වුණේ නැහැ. ඒ නිසා මේ පිං බිම හැදාමත් මගේ හිතෙන් ඈත් වෙන්නේ නැහැ. එහෙත් මගේ දරුවන්ට මේ විද්‍යාලයෙන් ඉගෙන ගන්න වාසනාව තිබුණේ නැහැ. ඒ අය ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ වීම නිසයි.
හැබැයි ගුණසේකර යුගයේදී අපි හදාගත්ත විනිය නිසා මට දේශපාලඥයකු විදියට මගේ දරුවෝ හොදට හදා ගන්න පුළුවන් වුණා. මගේ මව්පියෝ කිව්වේ උබට බලාපොරොත්තු ගොඩක් ඇති ඒත් ඒ දේවල්වලට දරුවෝ ගෙනියන්න හදන්න එපා කියළා. එහෙම ඉලක්ක වලට දරුවන් ගෙනියලා පලක් නැහැ. දරුවන්ගේ භාහිර දේවල්වලට ඉඩ දෙන්න. මම මේ විද්‍යාලයේ හය වසරට ඇවිත් සෑම භාහිර ක්‍රියාකාරකමක්ම කළා. මළල ක්‍රීඩාවෙන් වාර්තා තබා තිබෙනවා. ශිෂ්‍ය භටයෙක් විදියට ඉදලා හර්මන් ලොස් ශුරතාව පවා ගෙන්න දායක වුණා. මම විවාද කණ්ඩායමේ උප නායකයා විදියට හිටියා. සාහිත්‍ය සංගමයේ හිටියා. ඒ නිසා මගේ ජීවිතේ වැරදුනේ නැහැ. ඒ තත්ත්වය ඇති වුණේ ගුණසේකර යුගයේ අපිට දුන්න අධ්‍යපනය, විනය නිසා.
දේශපාලඥයන්ගේ දරුවෝ ගොඩක් ප්‍රශ්න හදාගන්නවා. නමුත් මට පුළුවන් වුණා මගේ දරුවන් හදාගන්න, ඒ අපිට විද්‍යාලයෙන් දුන්න විනය නිසා. මේ ශාලාවේ මම සහතික අරන් තිබෙනවා. විවිධ දක්ෂතා පෙන්නලා තිබෙනවා. ඕල්කොට් මැතිතුමා මේ විද්‍යාලය බිහි කලේ ප්‍රධාන පරමාර්ථයක් ඇතිව. ඔක්කොම තිබුණේ මිෂනාරී පාසල්. ඒ නිසා එතුමා බෞද්ධ විද්‍යාලයක් බිහි කළා. එකෙන් බොහෝ බෞද්ධ දරුවන්ට කිසිඳු බියක් සැකක් නැතුව මහින්ද විද්‍යාලයට එන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ විද්‍යාලයේ තිබෙන පරිසරය කිසිම විද්‍යාලයක නැහැ. මම මගේ දරුවන් එක්කගෙන ඇවිත් මේ පරිසරය පෙන්නුවා. මොකද ඒ අය ගියේ රාජකීය විද්‍යාලයට නිසා.
භාහිර ක්‍රියාකාරකම්වල යෙදුනම දරුවන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යා නොහැකි බවට ඇති කර ගෙන තිබෙන බිය ඉවත් කර ගන්න යැයි මම මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. එලෙස භාහිර ක්‍රියාකාරකම් කරපු දරුවෝ අභියෝගයන්ට මුහුණ දෙන්න කිසිඳු බියක් නැහැ. මම කිසිම වෙලාවක මගේ දරුවන්ට කිව්වේ නැහැ අසවල් පාඨමලාව හදාරන්න කියළා. ඒ අය ඒ අයගේ කැමැත්ත අනුවයි ඒ සියල්ල කලේ. දෙන්නෙක් ටෙබල් ටෙනිස් ගැහුවා. ලංකාවේ පළමු වැනියා වුණා. දෙන්නෙක් රටවල් නවයක සෙල්ලම් කළා. එක්කෙනෙක් ඒ අටයි. අනෙක් කෙනා ඒ නවයයි. මගේ බාල දරුවා ඉගෙන ගෙන ඇවිත් පෞද්ගලික අංශයේ රැකියාවකට ඉල්ලුම් කරලා ඇවිත් කිව්වේ තාත්තේ කිසිම වෙලාවක එතැනට කතා කරන්න එපා කියළා. මම කවදාවත් එවැනි බලපෑම් කරලා නැහැ. අද කරන්නෙත් නැහැ. එම නිසා මෙම මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබේ දරුවටත් නිදහසේ ඒ අයගේ අධ්‍යාපනය හදාරන්න ඉඩ දෙන්න කියළා.