මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් 2020 වර්ෂයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දෙමින්, කුසලතා පිරි, රැකියාභිමුඛ උගත් තාරුණ්‍යයක් බිහි කිරීමට අවශ්‍ය වෙනස්කම් උසස් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ කඩිනමින් සිදු කරන බව ද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලට වසර 09ක් පිරීම නිමිත්තෙන් සහ අලුතින් ඉදි කරන ලද පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයේ දී ඊයේ (20) ඇමැතිවරයා මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
අපි මේ පාසල 2011 ජනවාරි 20 වැනි දින එවක අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන විට උදේ 7.30 සිට හවස 3.30 දක්වා වැඩ වේලාවක් අධ්‍යාපනය ලබා දෙන, සෑම දරුවෙක් ම දිනපතා බත් පාර්සල් 02 ක් රැගෙන එන, පාන් පිටි ආශ්‍රිත කෑම තහනම් කළ, ලන්ච් ෂීට් වැනි පරිසරයට අහිතකර දෑවලින් තොර වුණු ආදර්ශ විද්‍යාලයක් ලෙස සැලසුම් කරලයි තිබුණේ. නමුත් 2015 න් එය ආදර්ශ පාසලක් බව අමතක කර එහි අනවශ්‍ය වෙනස්කම් රැසක් කළා. අද අපි විවෘත කළ ගොඩනැඟිල්ලේ ආකෘතිය පවා වෙනස් කරමින් ප්‍රමාණය ද කුඩා කරමින් මෙම ගොඩනැඟිල්ල හෝ ලබා දීම පිළිබඳ ව පසුගිය රජයේ අධ්‍යාපන ඇමැතිවරයාට ස්තූතිවන්ත වෙනවා.
මෙම ආකෘතියේ ම පාසල් සියලු ම දිස්ත්‍රික්කවල ඉදිකිරීම සඳහා අපේ රජය කටයුතු කරනවා. එසේ ම දෙමළ භාෂා ගුරුවරුන් ද බඳවා ගැනීමෙන් අනතුරු ව ද්‍රවිඩ භාෂාවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසුන්ට ද අධ්‍යයන කටයුතු සිදු කළ හැකි පරිදි අංග සම්පූර්ණ තෛභාෂා පාසලක් බවට මෙම ආදර්ශ විද්‍යාල පත් කිරිම ද අප රජය මඟින් කටයුතු කරනවා. මේ පාසල ඔප්පු කොට තිබෙනවා එහි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල අනුව අදාළ ඉලක්කයන් සඳහා ගමන් ගන්නා විද්‍යාලයක් බවට. වෙනත් කිසි ම වටපිටාවක නැති වටපිටාවක් මෙම විද්‍යාලය සතුව පවතිනවා. හරිත සරසවිය, නැනෝ තාක්ෂණික ආයතනය, කිරුම්-මිනුම් පර්යේෂණ ආයතනය, ටෙලිකොම් දත්ත ගබඩාව ආදී සුවිශේෂී ආයතන රැසක් මේ අවට ඉදි කොට තිබෙනවා. එමෙන් ම මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය මේ වනවිට ඉදි වී තිබෙන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ද දැන් මෙහි ඉදිවෙනවා.
වාර්ෂික ව ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරමින්, දැනට වාර්ෂික ව උසස් පෙළ සමත්වන සිසුන්ගෙන් බහුතරයක් නරාවලට වැටෙන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දෙමින්, කුසලතා පිරි, රැකියාභිමුඛ උගත් තාරුණ්‍යයක් බිහි කිරීමට අවශ්‍ය වෙනස්කම් උසස් අධ්‍යාපනයේ සිදු කරනවා. ඒ අනුව 2020 දී මෙරට උසස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා. ඒ නිසා ම සියලු දෙනාට ම සතුටන් පවසන්නේ “හෙට එච්චර කළුවර නෑ“ කියල යි. යනුවෙන් ද පැවසී ය.
මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාය. බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අධි නීතිඥ ජනක වැලිවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහත්වරු සහ විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය ද මේ අවස්ථාවට එක් වුහ.