මෙරට තුළ ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රයක් (International Education Hub) ඇතිකිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාව සම්මත වූ බව අද (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසුවේය.
ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව 30,000 ක සිසුන් ප්‍රමාණයක් ඇතුළත් කරගන්නා විට උසස් අධ්‍යාපන අවස්ථා සොයමින් සිසුන් 21,000 ක් වාර්ෂිකව විදේශගත වන බවත් ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රය ස්ථාපිත වූ පසු විදේශයන් වෙත ඇදී යන ධනය මෙරටදීම ඉතිරි කරදීම සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. අධ්‍යාපන අවස්ථා සොයමින් මෙරට සිසුන් විදේශගත වීමත් සමග රු.බි. 50 ක ප්‍රමාණයක් මෙරටින් ඉවතට ඇදී යන අතර මෙය රටේ ආර්ථිකයට ද සෘජුවම බලපානමින් රුපියල අවපාත වීමට පවා හේතුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය. මෙවැනි පසුබිමක මාලදිවයින හා බංග්ලාදේශය ආදී ආසියාතික රටවල සිසුන් මෙරට අධ්‍යාපන අවස්ථා සොයමින් පැමිණෙන බවත් පසුගිය වසරේදී 1568 දෙනෙකු එලෙස පැමිණ ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. තොරතුරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ඉංග්‍රීසි, ගණකාධිකරණය වැනි තාක්ෂණික විෂයන් හැදෑරීමේ අවස්ථාවන් සෙවීම මොවුන්ගේ මූලික අභිලාෂය වී තිබේ.
ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල හා තාක්ෂණික ආයතන, අධි තාක්ෂණික ආයතන මෙරට තුළ ස්ථාපිත කිරීමටත් විදෙස් ආයෝජකයින්ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් පිරිනමන බදු සහන වැනි අවස්ථාවන් ලබාදෙමින් මෙරට තුළ විදෙස් අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරීමට ඉඩ හසර ලබාදෙන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. පාඨමාලාවන්ට අදාළ ගෙවීම් විදේශීය මෙන්ම දේශීය සිසුන්ට ද මෙරට සම්මත විදේශ මුදල් ඒකක වලින් ගෙවීමට පියවර ගැනීමත් සමග මෙරට ආර්ථිකය ද නංවාලීමට උරදෙන බවද එතුමා පැවසුවේය.
යෝජිත ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රය, ගණකාධිකරණ ක්ෂේත්රයේ විශිෂ්ඨයින් බිහි කරන තෝතැන්නක් බවට පරිවර්තනය කිරීමෙහිලා සිය සහය නොමඳව ලබාදෙන බව වොෂිංටනයේ පිහිටි ජාත්‍යන්තර ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා අද උදෑසන තමන් සමග පැවති සාකච්ඡාවකදී පොරොන්දු වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. මේ ගැන වරදවා අර්ථකතන ලබානොදෙන ලෙස ද අමාත්‍යවරයා මාධ්‍ය සගයින්ගෙන් ඉල්ලා සිටියේය.