2019 වසරේ නොවැම්බර් 20 වැනිදාට පෙර බැංකු වෙත අයදුම්පත් ලබාදුන් ජනමාධ්‍යවේදීන් සඳහා ‘මාධ්‍ය අරුණ’ ණය පිරිනමන බවත් මහජන බැංකුව හා ප්‍රාදේශීය බැංකු වලට මේ බව දැනුම් දී ඇති බවත් තොරතුරු හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (28) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එමෙන්ම, ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය එළඹෙන මාර්තු මසදී නව මුහුණුවරකින් හඳුන්වාදෙන බව ද එතුමා අවධාරණය කළේය. ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් දියත් කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන 2020 ‘ සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට සිදුකෙරේ. එළඹෙන පෙබරවාරි 07 දක්වා ඒ සඳහා අයදුම්පත් භාරගන්නා බවත් සිය වෘත්තීය කුසලතා වැඩිදියුණු කරගැනීමේ අභිලාෂයෙන් සිටින ජනමාධ්‍යවේදීන් නොපමාව ඊට අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ඒවා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමුකළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ දිනවල චීනය ආශ්‍රිත කරගනිමින් මුළු ලෝකය පුරාම සීඝ්‍රයෙන් පැතිර යන කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් මාධ්‍ය ගෙනයන මෙහෙවර ද අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය. චීනයේ සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ සුවිශේෂී මෙහෙවර දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට බව ද එතුමා මෙහිදී අවධාරණය කළේය.

චීනයේ බීජිං නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක 0861065321861 / 0861065321862 තුළින් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු සිය ඥාතීන්ට දැනගත හැකි බවත් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

මක්කම වන්දනාවේ යාමට අපේක්ෂාවෙන් සිටින මුස්ලිම් බැතිමතුන්ට අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් ලක්ෂ 05 ක මුදලකට සියලු පහසුකම් වලින් යුතු සහනදායී පැකේජයක් ලබාදෙන බවත් පැවසූ අමාත්‍යවරයා ආහාර, ඉඳුම් හිටුම් හා කූඩාරම් පහසුකම් ආදිය පවා මීට ඇතුළත් බව ද පැහැදිලි කළේය.

ජනතාවට 8 % ක වැට් බදු සහනයක් ලබාදීම මේ දිනවල ක්‍රියාත්මක වන බවත් ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියට වාර්තා වී ඇති ආයතන 50 කට ආසන්න ප්‍රමාණයක් සහ එම ආයතන වලට අයත් භාණ්ඩ හා සේවාවන් 5555 ක පමණ වැට් සහනය ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.