‍කොරෝනා වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා රජය විසින් රට තුළට පැමිණෙන සියලු විදේශිකයින් පරීක්ෂාව‍ට ලක් කිරීමට කටයුතු ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.

කොරෝනා වයිරසය පැතිරවීම වැළැක්වීමට හා ඒ සම්බන්ධ පියවර ගැනීම සඳහා ජනාධිපතිතුමන් විසින් අමාත්‍යංශය සහ සෞඛ්‍ය සේවා දෙපාර්තුමේන්තු නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුතු විශේෂඥ කණ්ඩායමක් පත්කර ඇති බව අමාත්‍යතුමිය තවදුරටත් පෙන්වා දුන්නාය.  

චීනයේ වුහාන් ප්‍රාන්ත්යෙන් ලංකාවට පැමිණෙන සියලුම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති වෙන් වෙන්වූ කාමර වෙත පළමුවෙන්ම යොමු කර නිරෝධායන කටයුතු සඳහා රඳවා තැබීම සිදුකරන බව ද අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

රට තුළට ඇතුල් වන චීන ජාතිකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ගුවන් තොටු‍පලට ඇතුල්වී‍ම සඳහා වෙනම ස්ථානයක් වෙන් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය. තවද මෙරටට පැමිණෙන සියලුම චීන ජාතිකයන් නවාතැන් ගන්නා ස්ථානය සඳහන් කරමින් විශේෂ ප්‍රකාශන සටහනක් ලබා ගන්නා බවත් ඒ අනුව ඔවුන්ගේ නවාතැනට වෙත මහජන සෞඛ්‍ය නිලධාරීන් ගොස් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අංගොඩ අයි ඩී එච් රෝහලට අමතරව ‍සැකකටයුතු රෝගීන් පරීක්ෂා කිරීමට දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පළාත් සහ ශික්ෂණ රෝහල් කිහිපයක් යොදවා ඇති බවද වෛද්‍යවරයා ‍ සඳහන් කළේය.    

කොරෝනා වෛරසය හා ඒ සම්බන්ධව මහජනතාවට ගැටළුවක් හෝ දැනුවත් කිරීමක් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දැනුම් දීම සඳහා 0710107107 හෝ 011307 1073  දුරකතන අංක ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

එමෙන්ම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණ ලබා දී තිබෙන බවත් මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා ‍වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය. 

මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොරෝනා වෛරසය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් ද එක් විය.