ජනමාධ්‍යවේදීන් සඳහා ලබාදෙන ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය සඳහා බැංකු මගින් මුදල් මුදාහරින ක්‍රමවේදය සරළ කිරීම ගැන මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ජනමාධ්‍යවේදීන්ට ලබාදිය හැකි බවත් තමන් බැංකු සමග ද සාකච්ඡා කර එම ණය යෝජනා ක්‍රමය සරළ කරන බවත් උසස් අධ්‍යාපන තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීහු මෙහිදී සිය කෘතඥතාව පළකළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමෙන් පසුව ද මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව මුදල් වැය කරන්නේ අතුරු සම්මත ගිණුමෙන් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අතුරු සම්මත ගිණුමෙන් වෙන්කර තිබෙන මුදල හැර අතිරේක මුදලක් වියදම් කිරීමේ නීත්‍යනුකූල අයිතියක් භාණ්ඩාගාරයට නැති බව එතුමා මෙහිදී පැවසුවේය. අතුරු සම්මත ගිණුමෙන් ණය ලබාගැනීමේ උපරිම සීමාවක් නියම කර තිබෙන පසුබිමක අද වනවිට ණය ලබාගැනීමට හැකි වාතාවරණයක් නොතිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය..

කිසිදු භේදයකින් තොරව රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට ජනාධිපතිතුමා විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ බවත් ඉන්පසු බිහිවන උපාධිධාරීන්ට රැකියා ඉලක්ක කරගත් පාඨමාලා දියුණු කිරීමේ සූදානමක් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.