ස්ථිර නිවාස නැති දහස් ගණනක් පුරවැසියන්ට ජාති බේදයෙන් හෝ පක්ෂ බේදයෙන් තොරව උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීම රජයේ යුතුකම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

“ ඔබට ගෙයක් - රටට හෙටක් “ නිවාස ව්‍යාපෘතිය එම ජාතික යුතුකම ඉටුකිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළක් බව ප්‍රකාශ කළ අගමැතිවරයා, රටේ පොල් අතු සෙවිලි කළ සෑම ගෙයක් ම උළු ගෙයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

“ඔබට ගෙයක් - රටට හෙටක්“ ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරාවැව දීය.

එහිදී රාජපක්ෂ මහතා අවධාරණය කළේ ත්‍රස්තවාදය නිසා වසර තිහක් අනාථ කූඩාරම්වල හිටපු ලක්ෂ ගණනක් දෙමළ, මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ රජයට මේ ව්‍යාපෘතිය අමාරු දෙයක් නොවන බවයි.

රට පුරා ග්‍රාම සේවා වසම් 14000 ක නිවාස 14000 ක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන “ඔබට ගෙයක් - රටට හෙටක්“ වැඩසටහන පෙරේදා (01) වරාවැව දී ආරම්භ විය.

මේ වැඩසටහන යටතේ ඉදිවන පළමු නිවස ලෙස වරාවැව ග්‍රාමයේ කේ.කේ. අජිත් නිශ්ශංක මහතාගේ නිවසේ වැඩ ආරම්භ කිරීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙහිදී සිදු කෙරිණි.

එක් නිවසක් ඉදකිරීමට වැය කිරීමට අපේක්ෂිත රුපියල් ලක්ෂ 06 ක මුදලෙන් නිවාසයේ මූලික වැඩකටයුතු නිමකිරීම සඳහා රුපියල් ලක්ෂයක අත්තිකාරම් මුදලක් නිවාස ප්‍රතිලාභීන් වෙත ලබාදීම ද මෙහිදී අගමැතිවරයා අතින් සිදු කෙරිණි.

මාවතගම ඩොනාව වත්තේ අක්කර 22ක භූමියක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලබාදීමේ ඔප්පුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

ඔබට ගෙයක් - රටට හෙටක් වැඩසටහනට ආරම්භ කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මේ මොහොතේ මේ මුළු රටේම සෑම මැතිවරණ කොට්ඨාසයකම මේ වැඩ කටයුත්ත ආරම්භ වෙනවා. ඇත්ත වශයෙන්ම මේක මුල් ගල් තැබීමක් නොවෙයි ආරම්භ කිරීමක් ලෙස කියන්න කැමැතියි. මේ රටේ සෑම පොල් අතු සෙවිලි කළ ගෙයක්ම උළු වහලක් තියෙන ගෙයක් බවට පත් විය යුතුයි. සියලුම පොල් අතු ගෙවල් උළු ගෙවල් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය ඉන්දික ඇමතිතුමාට භාර දෙනවා. අවුරුදු 5 ක් බලාගෙන ඉන්න බැහැ. අපේ බලාපොරොත්තුව 14000 කට අධික ග‍්‍රාම සේවා වසම්වල ගෙවල් හදන්නයි. එතකොට අඩුම ගානේ ගෙවල් 14000 කට අධික සංඛ්‍යාවක් ඉතා කෙටි කාලයකින් මේ රටේ හැදෙනවා.

අපගේ මේ උත්සාහය නිසි නිවාස නැති දහස් ගණනක් පුරවැසියන්ට උපන් බිමෙහි සැබෑ අයිතිය ලබා දීමටයි. ‍මේ ව්‍යාපෘතියට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයක් නෑ. පොහොට්ටු, යූඑන්පී, ශ්‍රී ලංකා කියලා භේදයක් නෑ. කවුරු වුණත් පොල් අතු පැලක ඉන්නවා නම් ඔවුන් ව අපි උළු සෙවිලි කළ වහලක් යටට ගෙන ආ යුතුයි.

ත්‍රස්තවාදය නිසා වසර තිහක් අනාථ කූඩාරම්වල හිටපු ලක්ෂ ගණනක් දෙමළ, මුස්ලිම් ජනතාව ගෙවල්වලට යැව්වේ අපියි. ඒක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ කළ දැවැන්තම නිවාස ව්‍යාපෘතිය වන්නේ. නැවත පදිංචි කිරීම වැනි දෙයක් කළ අපිට මේ ව්‍යාපෘතිය ඒ තරම් අමාරු දෙයක් නොවේ. මතක තියාගන්න නිවසක් නැති කෙනෙක් උපන් බිමෙහි බෝඩිංකාරයෙක් වගේ. අපි ඒ යුගය ඉදිරි අවුරුදු 4 තුළ නිමා කරන්න ඕනේ.

අපි මේ වැඩසටහන කරන්නේ ප‍්‍රතිපත්තියක් ඇතිවයි. ඉදිරි දැක්මක් ඇතිවයි. මේක අපේ දේශපාලනයට ඕනේ නිසා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් නෙවෙයි. මේ ව්‍යාපෘතිය රටේ ජනතාවට ඕනෑ නිසා කි‍්‍රයාත්මක කරන ව්‍යෘපෘතියක් බව කියන්න ඕනේ. ඒ නිසා අද තියන මුල්ගල් එකක්වත් පැළ වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මේ මුල්ගල් තියන බව රට පුරා දැන්වීම ගහලා ප‍්‍රචාරය කරන්නෙත් නැහැ.

ඉතිහාසයේ අපි දැකලා තියෙන්නේ නිවාස හදනවට වඩා දැන්වීම්වලට වියදම් කිරීමයි. නිවාසයක් හදනවාට වැඩිය වියදම් කරලා ඔවුන්ගේ පුතිරූප නංවා ගන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. හම්බන්තොට නිවසක් හදන විට යාපනයෙත් පොස්ටර් වැදෙනවා. යාපනයේ ගෙයක් හදන විට හම්බන්තොටත් පොස්ටර් වැදෙනවා. නිවාස සඳහා එතරම් මුදලක් වියදම් කරලා තිබුණේ නැහැ.

ඒ මුදල් ටික නිවාස හදන්න දුන්නා නම් මේ රටේ නිවාස ප්‍රශ්නය මේ වන විට විසඳිලා. මතක තියාගන්න නිවාස හදනවාට වඩා නිවාස හදන බව රටට කියන්න වියදම් කළ ආණ්ඩු පහුගිය කාලයේ තිබුණා. පහුගිය ආණ්ඩුවේ නිවාස ව්‍යෘපෘතිවල ප‍්‍රචාරණ වියදම රුපියල් මිලියන 1500යි. ඒ මිලියන 1500න් නිවාස දහස් ගාණක් මේ රටේ හදන්න තිබුණා.

මේ රටේ ජනතාවට ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති ගැන හොඳ අත්දැකීම් තිබෙනවා. මටත් හොඳ අත්දැකීමක් තිබෙනවා. 1980 දශකයේ මම ෂැඩෝ මිනිස්ටර් හැටියට විපක්ෂයේ ඉඳගෙන නිවාස ව්‍යාපෘති ගැන බොහෝ වාරවල පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. මට මතකයි ඒ දවස්වල ජයවර්ධනපුර අවට වගුරුබිම් ගොඩකර ගෙවල් හදනකොට මං පාර්ලිමේන්තුවේ දී කිව්වා, මේ විධියට ගෙවල් හැදුවොත් කවදා හරි පාර්ලිමේන්තුවත් යටවෙයි කියලා. අද ඒ කීම ඇත්ත වෙලා තියෙනවා.

ඒ නිසා අපි ගෙවල් හදන්නේ මේ රට ගැන හිතලා. අපි ඔබට ගෙයක් රටට හෙටක් ව්‍යපෘතිය කි‍්‍රයාත්මක කරන්නේ ජනතා හිතවාදී ව්‍යාපෘතියක් විදියටයි.

අපි මේ හදන නිවාස විසිරි නිවාස ලෙසයි නිර්මාණය වෙන්නේ. නිවාස දහයක් පහළොවක් හදලා නම ගහගන්න විදියේ නිවාස ව්‍යාපෘති අපි කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. මේ ගෙවල් ආණ්ඩුවෙන් දීපු ගෙවල් කියලා පෙන්වන්න අපිට ඕනකමක් නෑ. අපිට ඕන තමුන්නාන්සේලාගේ උත්සහයත් ඇතුව මේ මගේ නිවස පවුලේ අය වෙනුවෙන් නිවසක් හදන්න ඕන කියන අදහස ඇතුව මේ සඳහා සම්බන්ධවීමයි.