ශ්‍රී ලංකාවේ රූපවාහිනි විකාශයන් ඩිජිටල් කිරීම සඳහා පසුගිය දා පැවැති ආණ්ඩුව නවතාදමා තිබු වැඩසටහන යළි ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා ජනමාධ්‍ය අමත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙක් කමිටුවක් පත් කැර තිබෙන අතර එහි නිර්දේශ (9) පෙර ලබාදීමට නියමිතයි.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජපන් රජයේ ඉහළ පෙලේ නියෝජිත පිරිසක් සහ තොරතුරු හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ඉහළ නිලධාරි පිරිසක් අතර පසුගිය දා (31) මෙම සාකච්ඡාව සිදු වී තිබේ.

දැනට Analog තාක්ෂණය භාවිතා කරමින් සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශයන් ඩිජිටල් මාධ්‍යයට හැරවීම සම්බන්ධයෙන් යොදා ගත යුතු තාක්ෂණ ක්‍ර‍වේදය ලෙස ජපානයේ භාවිත කරන ISDB-2 තාක්ෂණ ක්‍ර‍මවේදය යොදා ගැනීමට 2014 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ණය ගිවිසුමට ද ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තබා ඇත.

නමුත් ඉහත වැඩසටහන 2015 වසරෙන් පසු ක්‍රියාත්මක වී නොමැත. ඒ අනුව 2021 දක්වා වලංගු ඉහත ගිවිසුම අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජපන් රජයේ නියෝජිතයින් පිරිස සමඟ මෙම සාකච්ඡාව සිදු කැර ඇත.

මෙම ක්‍ර‍මයේ ඇති ප්‍ර‍තිලාභ පිළිබඳව ජපන් නියෝජිත පිරිස පැහැදිලි කළ අතර මෙහි විවිධ තාක්ෂණික කරුණු ඇතුළු අනකුත් කරුණු පිළිබඳව ජපාන් රජය අවධානය යොමු කරන ලදී. ඒ අනුව තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කමිටුවක් පත් කළ අැමැතිවරයා (9) වැනි දිනට පෙර ඒ සඳහා නිර්දේශ ලබාදෙන ලෙස ද එම කමිටුවට උපදෙස් ලබාදුන්නේය. මෙම සාකච්ඡාව සඳහා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක , අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු )පාලිත ගාල්ලගේ මහතා ජපාන රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.