නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතුව ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වෙයි.

තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බව පෙන්වා දෙන ජනාධිපතිවරයා ව්‍යාපෘතිය ඇරැඹීමේ දී එකඟ වූ පරිසර නියමයන් පසුගිය වකවානුවේ දී නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.

කොළඹ, අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශයේ පූජකවරුන්, ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ව්‍යාපෘතිය භාර සමාගම් සහ බලධාරීන් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් දෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නොරොච්චෝලේ දැනට ක්‍රියාත්මක අදියර තුනෙන් මෙගාවොට් 900ක විදුලියක් ජනනය කෙරෙන අතර, එහි සිවුවන අදියර පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැත. රටේ වේගවත් සංවර්ධනයකට බලශක්තිය තීරණාත්මක සාධකයක් වන අතර, එබැවින් විකල්ප බලශක්ති කෙරෙහි කඩිනමින් යොමුවීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළි කළේය.

විකල්ප බලශක්ති අවම වියදමකින් උත්පාදනය කළ යුතු අතර, ඒවා පරිසර සහ ජනතා හිතකාමී විය යුතුය. නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු විමර්ශනයට විදුලිබල ඇමැතිවරයා අදාළ ඉංජිනේරුවන් ඇතුළු කණ්ඩායමක් යොමු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

තමාද බලාගාරය නිරීක්ෂණයට පැමිණෙන බව සඳහන් කළ ඒ මහතා ආගමික නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡා කර ගැටලු නිරාකරණයට පියවර ගන්නා බවද කියා සිටියේය.

වසර 2030 වනවිට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 80ක පුනර්ජනනීය මූලාශ්‍රවලින් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරෙන අතර, පසුවිපරම් අධ්‍යයන අඛණ්ඩව කරන ලෙස උපදෙස් දී ඇත.

සංවර්ධන ක්‍රියාදාමයේ දී දූෂණය සහ අක්‍රමිකතා පිටුදකිමින් විශාල අරගලයක නිරතවීමට ජනාධිපතිවරයාට සිදුව ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන් අතර, විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවල දී පසුගිය සමයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ කනගාටුව පළ කළහ.

ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය