ලංකා ඉතිහාසයේ පළමු වතාවට දිවයින පුරා සිදුකෙරෙන වී මිලදීගැනීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බවත් ජනවාරි මස 29 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා කාල පරිච්ඡේදය තුළදී වී මෙට්‍රික් ටොන් 5217 ක් මිලදී ගැනීමට හැකිව තිබෙන බවත් තොරතුරු සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) අමාත්‍යංශ ශ්‍රවණගාරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

වී මිලදීගැනීමේ කටයුතු සඳහා මේ වනවිට රු.මි. 260.5 ක මුදලක් වැයකර ඇති බවද එතුමා පෙන්වා දුන් අතර මෙම ක්‍රමවේදය මගින් ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මුදලක් හිමිකරදෙන අයුරින්ම රු. 100කට අඩු මුදලකට අලෙවි කිරීමට ද හැකිවන බව ද වැඩිදුරටත් පැවසුවේය.

මේ දිනවල දැඩි කතාබහට ලක්වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවීමේ දිනය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළඹෙන මාර්තු මස 2 හා 6 අතර දිනයකදී ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවත් ඉන්පසු මැතිවරණය පැවැත්වෙනු ඇති බවත්ය.

මුහුණු පොත හරහා පවත්වාගෙන යන ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට ගිය මාතර ප්‍රදේශයේ කාන්තාවක් එහිදී විවිධ කායික හා ලිංගික අඩන්තේට්ටම් වලට ලක්වූ පසු අමාත්‍යවරයා විසින් ස්ථාපිත කර තිබෙන ‘ලිය සවිය‘ සංවිධානයේ රැකවරණය ලැබ නැවත මෙරටට පැමිණීමේ භාග්‍යය ලැබූ බව ද මාධ්‍ය හමුවට එක්වෙමින් අනාවරණය කළාය. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.