රාජ්‍ය සේවය බියෙන් ඇළලී ගිය නීති-රීතියක් නිසිලෙස ක්‍රියාත්මක නොවූ අවිචාරවත් යුගය වත්මන් ආණ්ඩුව අවසන් කළ බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ 07, ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී ඊයේ(18) පැවැති රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය...

පසුගිය කාල වකවානුව ශ්‍රී ලංකා රාජ්‍ය සේවය බියෙන් ඇළලීගිය නීති-රීතයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු අවිචාරවත් යුගයක්ව පැවතුණු බවත් ඒ කාලයේ කාර්යාල කාර්ය සහයකයාගේ පටන් අමත්‍යාංශ ලේකම් දක්වාම මූල්‍ය අපරාධ කොට්ඨාසයේත්, අල්ලස් හා දූෂණ කොමිසමේ බංකු උඩ වාඩි කරවමින් ප්‍රකාශ සටහන් කරගත් කාලයක්වූ බවත්, මේ වනවිට ඒ යුගය නිමා කරමින් දේශපාලන පක්ෂ පාට, ජාති, ආගම්, කුල, වර්ණ ලිංග භේදවලින් තොරව එක රටක් - එක නීතියක් යන ප්‍රතිපත්ති යටතේ රාජ්‍ය සේවයට සැළකීම රාජ්‍ය සේවකයන් ලැබූ විශාල අස්වැසිල්ලක්ය.

රටේ රාජ්‍ය සේවකයන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වඩා දියුණු කර රටට හා ජාත්‍යාන්තරයට අභිමානයක් විය හැකි ක්‍රීඩකයන් උනන්දු කරලීමේ අදිටනින් මෙවැනි ක්‍රීඩා උළෙලක් සංවිධාන කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්, ශ්‍රී ලංකා ආණ්ඩුවටත් ස්තූතිය පුදකරනවා. තවද සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යටතේ වැඩකරන රටක් නිර්මාණය කිරීමේදී රට දේශීය හා ජාත්‍යාන්තර වශයෙන් මුහුණදී ඇති දැවැන්ත අභියෝග හමුවේ මවුබිමට ආදරය කරන රාජ්‍ය සේවකයන් හට මෙවැනි ක්‍රීඩා උත්සවයක් සංවිධාන කිරීම වැදගත් වෙනවා. මෙම තරග අද(19) අවසන් දිනයටත් පැවැත්වේ.